Body

වොරියර් කුසලාන සත් සාමාජික රග්බි 2021 ඩයලොග් විසින් බලගන්වයි

ඔක්තෝබර් 25, 2021         කොළඹ

 

Harsha Samaranayake hands over the Warrior Trophy Rugby 7s 2021 sponsorship to Senior DIG Ranmal Kodituwakku, Chairman, Steering Committee of the Warrior Trophy Rugby 7s Powered by Dialog

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා විසින් වොරියර් කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ අනුග්‍රාහකත්වය, වොරියර් කුසලාන සත් සාමාජික රග්බි මෙහෙයුම් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙත භාරදුන් අවස්ථාව.
එසේම (ඡායාරූපයේ වමේ සිට) සංවිධායක කමිටු සාමාජික වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ, සංවිධායක කමිටු ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමල්ඩීන්, සංවිධායක කමිටු භාණ්ඩාගාරික උදානි එදිරිසිංහ මහත්මිය, මෙහෙයුම් කමිටු සාමාජික ගෲප් කැප්ටන් සුභාෂ් ජයතිලක, මෙහෙයුම් කමිටු සමාජික රියර් අද්මිරාල් සජිත් ගමගේ, ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ, සංවිධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබේකෝන් සහ ඩයලොග් ආසිආටා සමාගමේ ක්‍රීඩා අලෙවිකරණ කළමනාකරු බාලකුමාර් රාමසාමි ද ඡායරූපයේ වෙති.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසරකට අධික තරග රහිත කාලයකින් පසු, සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ ජවය සහ වේගය පිටියට නැවත කැන්දාගෙන එන ‘වොරියර් කුසලාන රග්බි තරගාවලිය’ බලගැන්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ රග්බි මෙහෙයුම් කමිටුව විසින් මෙහෙයවනු ලබන අදාළ තරගාවලිය 2021 ඔක්තෝබර් 30 සහ 31 දෙදින පෙරවරු 09 සිට කොළඹ-05 පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදාවේ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් මෙම තරගාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සම්පූර්ණ සහාය ලැබෙන බව සනාථ කර තිබේ. ලබන නොවැම්බර් මස එක්සත් අරාබි එමීර් හී ඩුබායි නගරයේදී පැවැත්වීමට යෙදී ඇති ආසියානු සත් සමාජික රග්බි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන්ද මෙම ‘වොරියර් කුසලාන’ යොදාගැනීමට ජාතික තේරීම් කමිටුව කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය වී ඇතත්, Supreme TV (ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 20) ඔස්සේ රූපවාහිනියෙන් සහ Dialog VIU ජංගම දුරකථන යෙදුම සහ ThePapare.com , ඔස්සේ අන්තර්ජාලයෙන්ද සජීවීව විකාශය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 2021 ඔක්තෝබර් 31 වැනිදා පස්වරු 4.00ට පොලිස් පාර්ක්හිදී පැවැත්වීමට යෙදී තිබේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමය විසින් අධීක්ෂණය කෙරෙනු ඇත.

මෙම තරගාවලිය වෙනුවෙන් මෙරට සත් සාමාජික අන්තර් සමාජ රග්බි ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන සී.එච් ඇන්ඩ් එෆ්.සී මෙන්ම හැව්ලොක්ස් යන ක්‍රීඩා සමාජ සිය හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට නියමිත අතර යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සිය ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් දෙක බැගින් ඩයලොග් විසින් බලගන්වන වොරියර් කුසලානට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම වොරියර් කුසලාන රග්බි තරගාවලිය කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම අවම කිරීම වෙනුවෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද සෞඛ්‍ය සහ ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා සහභාගීවන කණ්ඩායම් තරගාවලියට පෙරාතුව ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමවේදය යටතේ සිය පුහුණුවීම් සිදුකරනු ඇති අතර ඒ අතරතුර සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඔවුන්ව නිරන්තර පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහ) පරීක්ෂාවන්ට ලක්කිරීමටද නියමිතය.

“ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල අත්‍යවශ්‍ය අංගයක්. කොවිඩ් 19 වසංගත තත්වයක් හමුවේ වන අභියෝගයන් ජයගනිමින්, මේ අයුරින් දැවැන්ත තරගාවලියක් සංවිධානය කිරීම හරහා මෙරට සත් සාමාජික රග්බි ක්ෂේත්‍රය යළි ඇරඹීම පිණිස වොරියර්ස් රග්බි මෙ‍හෙයුම් කමිටුවටත්, ජාතික රග්බි කණ්ඩායමේ මෙන්ම ක්‍රීඩා සමාජ රග්බි අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගමටත් හැකිවීම පිළිබඳව මා සතුටට පත්වෙනවා.” යි පවසන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා “ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ අයෙක් ලෙසින්, ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වැනි දැවැන්ත අභියෝගයක් හමුවේ ක්‍රීඩකයන් තෝරාගැනීමට සහ ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් සූදානම් කිරීමට මෙවැනි මට්ටමේ තරගාවලියක ඇති සුවිශේෂී වැදගත්කම මා හඳුනනවා. සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ විශිෂ්ට දෙදිනක් වෙනුවෙන් ඩයලොග් සමාගමට සහ මෙම තරග මෙහෙයුම් කමිටුවට මා සුබ පැතුම් එක්කරනවා.” යි වැඩිදුරටත් පවසා සිටියේය.

“මෙම ක්‍රීඩාවේ ස්වභාවය නිසාම එහි තරගාවලියක් සංවිධානය කිරීම ඉතාම අසීරු කටයුත්තක්ව පවතින වකවානුවක, රග්බි ක්‍රීඩාවට සහය දැක්වීමට, මෙරට ක්‍රීඩාවට ඉහළින්ම සහය දක්වන ආයතනයක් ලෙසින් ඩයලොග් නැවත වරක් ඉදිරිපත් වීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා.” යැයි වොරියර් කුසලාන මෙහෙයුම් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා පැවසීය. එසේම සෞඛ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ මගපෙන්වීම සහ සහයෝගය සමගින් සහභාගීවන කණ්ඩායම්වල සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන පරිදි මෙම තරගාවලිය පැවැත්වීමට වොරියර්ස් කුසලාන රග්බි මෙහෙයුම් කමිටුව කටයුතු යොදා අති බවද ඒ මහතා පවසන ලදී.

“මෙරට ජාතික රග්බි කණ්ඩායමේ සහ අන්තර් සමාජ රග්බි අනුග්‍රාහකයා ලෙසින්, මේ තරගාවලිය සංවිධානය කිරීමට වොරියර් කුසලාන මෙහෙයුම් කමිටුව සාර්ථක ලෙස පියවර ගැනීම සම්බන්ධයෙන් ඩයලොග් සතුටට පත්වෙනවා.” යි ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා පවසන ලදි. “රග්බි යනු මෙරට බොහෝ ප්‍රේකෂක අවධානයක් දිනාගත් ක්‍රීඩාවක්. තම කණ්ඩායම් නැවතත් තරග බිමට පිවිසෙනතුරු ඒවායේ ප්‍රේක්ෂකයන් බලා සිටින මොහොතක්. මෙම තරගාවලිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවීමට මා සුබ පතනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.