Body

Doc990 සහ MyDoctor සේවා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් මාවතක් වෙත යොමුකෙරේ

ඔක්තෝබර් 31, 2021         කොළඹදී

 

Doc990 powered by Dialog

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් දෙකක් වන, ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන Doc990 සහ MyDoctor සේවාවන් එකම වහළක් යටට ගෙන එන බව මෑතකදී නිවේදනය කරන ලදී. මේ සමඟ, එම වෙළඳපොළ පුරෝගාමී සේවාවන් දෙකම, Doc990 වෙළඳනාමය යටතේ පුළුල් නිෂ්පාදන පෙළක් සමඟ පාරිභෝගිකයන්ට අනභිභවනීය අත්දැකීමක් ගෙන එනු ඇත.

MyDoctor සමඟ ඒකාබද්ධව එන නව Doc990 සේවාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරමින්, මෙරට ප්‍රථම සියල් සපිරි ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නා බවට පත්වේ. මෙම සබඳතාව තුළින් ඒකාබද්ධ වන සෞඛ්‍ය සේවා ප්‍රවීණතාවයත්, තාක්ෂණික ප්‍රවීණතාවයත් සමඟ අති නවීන සත්කාර සේවාවක් Doc990 ඇප් එක සහ වෙබ් අඩවිය හරහා පරිශීලකයින්ට ලබාදීමට නියමිතය. එම සේවාවන් අතරට දිවයින පුරා රෝහල් 140 කට අධික සංඛ්‍යාවකින් වෛද්‍යවරුන් 5,000 කට අධික සංඛ්‍යාවක් චැනල් කිරීම, 1,300 කට අධික ‍සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ Audio/Video වෛද්‍ය උපදේශන (ක්ෂණික ඇමතුම් අංකය හරහා දින 7ම, පැය 24 පුරාම සෞඛ්‍ය සේවා මෙහෙයුම්), අන්තර්ජාලය හරහා ඖෂධ ඇනවුම් කිරීම හා දිවයින පුරා බෙදා හැරීම, අන්තර්ජාලය හරහා රසායනාගාර පරීක්ෂණ වෙන් කරවා ගැනීම සහ වාර්තා ලබාගැනීම, ජංගම රසායනාගාර සේවාවන්, ඩිජිටල් සෞඛ්‍ය සුරක්ෂිතාගාරයක් (පරිශීලකයෙකුගේ සෞඛ්‍ය වාර්තා ගබඩා කිරීම හා පවත්වාගෙනයාම සඳහා), සහ විශේෂයෙන් සැකසූ සෞඛ්‍ය හා සුවතා දායකත්ව පැකේජ පෙළක් ඇතුළු තවත් සේවාවන් රැසක් එක්ව තිබේ.

“මේ ඒකාබද්ධ කිරීම හරහා පාරිභෝගිකයන්ගේ ඩිජිටල් සෞඛ්‍ය අවශ්‍යතාවන් තවත් පුළුල්ව සපුරන්නට හැකිවීම ගැන අපි සතුටු වෙනවා,” ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී සෝමශ්‍රී සුබ්‍රමනියම් මහත්මිය පවසයි. “වෙළඳපොළ තරගකාරීත්වයේ ඉදිරියෙන්ම සිටි මෙම සේවාවන් දෙක ඒකාබද්ධ කිරීමෙන් ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් කරන්නට හැකි බව අපේ විශ්වාසයයි. එමඟින් අපේ පාරිභෝගිකයන්ට සියලුම සෞඛ්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගන්නට හැකි නවමු අත්දැකීමක් ලබා දෙන්නට අපිට හැකි වෙනවා.”

තම අදහස් බෙදාගත් ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය “ප්‍රමුඛ පෙළේ ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නන් දෙදෙනෙකු එක් කර ගැනීමෙන් අපි ශ්‍රී ලාංකිකයින්ට නවීන පන්නයේ, ඒකාබද්ධ විසඳුම් ගෙන එනවා. MyDoctor සහ Doc990 සේවාවන් දෙකටම තිබෙන්නේ සෞඛ්‍ය සේවා අංශය නව්‍යකරණය කිරීමේ තනි අරමුණක්. මින් ඉදිරියටත් අපි දේශීය ජන ජීවිත සවිබල ගැන්වීමට හා සමෘද්ධිමත් කිරීම සඳහා වූ අපේ ඉලක්කය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා”.