Body

ඩයලොග් විසින් Google Assistant හරහා සිය පාරිභෝගිකයන් හට නවතම ඩිජිටල් පාරිභෝගික සේවා අත්දැකීමක් ලබාදෙයි

ශ්‍රී ලංකාව තුළ ප්‍රථමවරට හඳුන්වාදෙන නවතම ඩිජිටල් පාරිභෝගික සේවාව

ජූනි 21, 2022         කොළඹදී

 

Dialog Empowers Customers with Digital Customer Care via Google Assistant

නව ඩිජිටල් පාරිභෝගික සේවා යුගයක ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට තුළ ප්‍රථම වතාවට Google Assistant හරහා ඩිජිටල් පාරිභෝගික සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරයි.

ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ජංගම දුරකථන සහ Google Home උපාංග භාවිත කරන පාරිභෝගිකයන්ට දැන් Google Assistant හරහා ඔවුන්ගේ ඩයලොග් මොබයිල්, ටෙලිවිෂන් සහ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයන්ට අදාළ විමසීම් සඳහා ක්ෂණිකව සහාය ලබාගත හැකි අතර, ඉදිරි මාසවලදී තවත් විශේෂාංග සහ සේවාවන් මෙම නවතම සේවාවට ඇතුළත් කෙරෙනු ඇත. ඩයලොග් පාරිභෝගිකයින්ට Google Assistant හරහා ඔවුන්ගේ පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවල සක්‍රියභාවය පරීක්ෂා කිරීම,බිල්පතෙහි ගෙවීමට ඇති මුදල පරීක්ෂා කිරීම, සම්බන්ධතාවය නැවත සක්‍රිය කිරීමේ හැකියාව යනාදිය පරීක්ෂා කිරීමට මෙන්ම ඩයලොග් සම්බන්ධතාවයක් නැවත තාවකාලිකව සම්බන්ධ කිරීම ඇතුළු සේවාවන් රැසක් මේ හරහා සලසා දී ඇත.

මෙම සේවාව සඳහා ලියාපදිංචි වූ පසු, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සහ Google Home උපාංග භාවිතයෙන් Google Assistant App එක හරහා “Talk to Dialog” ලෙස පවසා අදාළ පියවර අනුගමනය කිරීමෙන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට Dialog සේවාවන් ලබාගත හැක. මෙහිදී ඉතා පහසු පියවර කිහිපයකින් ඔබේ සියලුම Dialog Mobile, Television සහ Home Broadband සම්බන්ධතාවයන් Google Assistant සේවාවට ලියාපදිංචි කළ යුතුවේ.

මෙම නවතම සේවාව හඳුන්වාදීම හරහා මිලියන 17 කට අධික තම පාරිභෝගිකයන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්වීම වෙනුවෙන් නවීනතම විසඳුම් සැපයීම සඳහා ඩයලොග් ආයතනය ඉටුකරන කාර්යභාරය මෙන්ම ‘අනාගතය අදයි’ යන සමාගමේ තේමාවද මැනවින් තහවුරු කරන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.