Body

මෙරට පෞද්ගලික අංශයේ සමාගම් සහ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවන ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන සමඟ Sunshine Holdings සමාගම අත්වැල් බැඳගනීයි

පීඩාවට පත්වූ පවුල් 200,000 කට අධික සංඛ්‍යාවකට හදිසි සහන සැලසීම අරමුණු කරයි

ජූනි 2nd, 2022         කොළඹදී

 

Sunshine Holdings Joins Manudam Mehewara

ඡායාරූපයේ වමේ සිට දකුණට: Sunshine Holdings PLC හි ආයතනික සන්නිවේදන අංශයේ හි සහකාර කළමනාකාර ප්‍රවීන් එඩමා මහතා, Sunshine Holdings PLC හි ආයතනික සන්නිවේදන සහ ආයතනික සමාජ වගකීම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රියා එපිටවල මහත්මිය, Sunshine Holdings PLC හි සමූහ මානව සම්පත් කළමනාකරණ ප්‍රධානී මිෂෙල් සේනානායක මහත්මිය,Dialog Axiata PLC සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා , Dialog Axiata PLC හි මහා පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී රමනන් දේවෛරකම් මහතා සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා.

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, Citi බැංකුව, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ Sunshine Holdings සමාගමද පසුගියදා එක්විය.

මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා විගණන සහකරු PwC Sri Lanka ඇතුළු මෙම ව්‍යාපෘතියෙන් සමාජීය යහපැවැත්ම අරමුණු කොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් Dialog, MAS, Hemas, CBL, Citi බැංකුව සහ Sunshine Holdings අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතුරින් පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 40,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබාදී තිබේ.ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත වන තෙක් මනුදම් මෙහෙවර වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

'මනුදම් මෙහෙවර' මානුෂීය ක්‍රියාන්විතයට එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sunshine Holdings සමූහයේ සමූහ මානව සම්පත් කළමනාකරණ ප්‍රධානී මිෂෙල් සේනානායක මහත්මිය,”යහපත් ක්‍රියාමාර්ගවලට නිරතුරුවම ජීවය දිය යුතු බව Sunshine Holdings සමාගමේ අපි දැඩිව විශ්වාස කරනවා.‘මනුදම් මෙහෙවර’ එය සංකේතවත් කරන උතුම් ක්‍රියාන්විතයක්.මෙවැනි සද්කාර්යකට අපේ සමාගම දායක කරගනිමින් ඒ සඳහා අපට අවස්ථාව සලසාදීම පිළිබඳව මම Dialog, MAS, Hemas, CBL සහ Citi බැංකුවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අතරේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් අපි සියලුදෙනාම ඉදිරියට පැමිණ අපට හැකි පමණින් ඒ වෙනුවෙන් අපේ දායකත්වය ලබාදිය යුතු බව සඳහන් කර සිටිනවා. එබැවින් අප හමුවේ කුමන අභියෝගයන් පැවතියද මෙවැනි සාමූහික ප්‍රයත්නයක් හරහා දිනෙන් දිනම ශක්තිමත්ව ඉදිරියටම යන්නට අපි කැපවීමෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට යළි ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මගේ විශ්වාසයයි. සමාජීය යහපැවැත්ම අරමුණුකොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් එම අරමුණ යථාර්ථයක් බවට පත්කරන්නට එක්වීමට ලැබීම අප සමාගමට මහත් සතුටක්.”

Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා මෙසේ සඳහන් කළේය, “සමාජයේ යහපත උදෙසා ක්‍රියාත්මක වන මේ මානුෂීය මෙහෙවරට තව තවත් හවුල්කරුවන් සම්බන්ධවනු දැකීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක් හමුවේ 'මනුදම් මෙහෙවර' වැනි යහපත් සමාජ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන මානුෂීය වැඩසටහනක් හරහා අපේ රටේ සංවර්ධනය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරන්න අපි සමත්වෙලා තිබෙනවා.මිලියන 17 ක ග්‍රාහක සංඛ්‍යාවකට හිමිකම් කියන මෙරට පුළුල්තම ජාලය වශයෙන් රටට අත්‍යවශ්‍යම මොහොතේ දැඩි ලෙස පීඩාවට පත් අපේම ජනතාවගේ කුසගිනි නිවන්නට මෙවැනි ක්‍රියාන්විතයක් හරහා පෙරට ඒම සම්බන්ධයෙන් ඩයලොග් සමාගමේ අපි සැවොම නිහතමානීව ආඩම්බර වෙනවා. සමාජීය යහපැවැත්ම අරමුණුකොටගත් හවුල්කරුවන් සමඟ එක්ව දැඩි ලෙස පීඩාවට පත් පවුල් 200,000 කට අත්‍යවශ්‍ය හදිසි සහන සැලසීම වෙනුවෙන් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ඉලක්කයේ අපි දැනටමත් සැලකිය යුතු කොටසක් සාක්ෂාත් කර ගෙන ඇත. මෙම සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් අප සමඟ එක්වන ලෙස මම මේ රටේ සෙසු සියලුම සමාගම්වලටද ඇරයුම් කරනවා. සාමූහිකත්වය හරහා අපට බොහෝ දේ ජයගත හැකීයි."

මෙම ප්‍රයත්නයට එක්වන ලෙසත් හදිසි සහන බෙදා හැරීමේ මෙහෙයුම් පුළුල් කිරීමට සහාය වන ලෙසත් ‘මනුදම් මෙහෙවර’ සියලු ආයතනයන්ට ආරාධනා කරයි. වැඩි විස්තර සඳහා https://www.dialog.lk/corporate වෙත පිවිසෙන්න.