Body

ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 23 වෙනිදා ආරම්භ වෙයි

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ශාන්ත ජෝසප් විද්‍යාලය අතර සටනකින් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වෙයි

June 23rd, 2022         Colombo

 

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර 2ක නිහැඬියාවකින් පසු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් රග්බි තරගාවලිය වන 'ඩයලොග් පාසල් රග්බි ලීගය' 2022 ජුනි මස 23 වැනිදා ආරම්භවීමට නියමිතය. මෙම තරගවාරයේ පළමු කාණ්ඩයේ 'ඒ' කොටසේ තරග ආරම්භ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය ජුනි 23 වැනිදා කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

2020 වසරේදී ඩයලොග් පාසල් රග්බි ලීගය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සති 3ක කාලයකට සීමා කිරීමට සිදුවූ අතර 2021 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පැනවූ මාර්ගෝපදේශවලට යටත්ව තරගාවලිය අවලංගු කිරීමට සිදුවිය.

රග්බි ලෝලීන් මහත් උනන්දුවෙන් පුන පුනා බලා සිටි ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ 'ඒ' කොට‍සේ තරගාවලිය වෙනුවෙන් පුමුඛතම කණ්ඩායම් 12ක් තරග 34කදී මුණගැසෙන අතර, උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම තරගවාරය කෙටි කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙයින් සති 8 කට පසුව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ඩයලොග් පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය වෙනත් ක්‍රීඩාංගණයකදී පවත්වනු ලබයි.

2022 ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ 'ඒ' කොටසේ තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය,මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය තරග වදිති. තවත් පාසල් 24ක් පළමු කාණ්ඩයේ 'බී' සහ 'සී' කොටස් යටතේ තරග වදින අතර තවත් පාසල් 40ක් ඩයලොග් පාසල් රග්බි ලීගයේ 2 වැනි සහ 3 වැනි කාණ්ඩයෙන් තරගවැදීමට සූදානමින් සිටිති.

2019 තරගාවලියේදී ශූරයන් බවට පත්වෙමින් අවසන් තරගවාර 3දී ශූරතාව රැකගත් කොළඹ රාජකීය විද්‍යාලය සමග කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත‍ තෝමස් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගවාරයේ ඉහළින් බලාපොරොත්තු රඳවා සිටින කණ්ඩායම් වේ."මෙරට පාසල් ක්‍රීඩා දින දසුනේ ඉහළම අවධානයක් යොමුවන ඉසව්වක් බවට පත්වන ඩයලොග් පාසල් රග්බි ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ 2022 තරගවාරය පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ගත් තීරණය ගැන අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා" යි ඩයලොග් ආසිආටා හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍යය හර්ෂ සමරනායක මහතා පැවසීය "අපගේ මාතෘභූමියට කීර්තිය රැගෙන එන හෙට දවසේ ශූරයන් බිහිකිරීමේ පාසල් තරගාවලි ඩයලොග් හි ආචාරධර්මයන්ට බෙහෙවින්ම සමීපයි. සාර්ථක තරගාවලියක් වෙන‍ුවෙන් මම සුබ පැතුම් එක් කරනවා." යි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ අබේරත්න මහතා "වසර දෙකකට ආසන්න කාලයක විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ රග්බි ලෝලීන්ට මෙරට පාසල් රග්බි ක්‍රීඩාවේ විශිෂ්ටතම දස්කම් සජීවිව දැකගන්නට අවස්ථාව උදාවී තිබෙනවා. අනපේක්ෂිත කාලසීමාවක් හමුවේ වුවද, මෙම තරගාවලිය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බවට වූ පොරොන්දුව මත පිහිටා තවදුරටත් පූර්ණ සහයෝගය ලබාදීම ගැන පාසල් රග්බි අනුග්‍රාහක ඩයලොග් ආසිආටා සමාගමට මාගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. 2022 තරගවාරයේ සාර්ථකත්වය වෙනුවෙන් මම සෑම කණ්ඩායකටම සුබ පතනවා!"

මෙම තරගාවලිය දෙස උනන්දුවෙන් බලා සිටින පාසල් සිසුන්, ආදි සිසුන්, දෙමාපියන්, සහයෝගය දක්වන්නන්, සුබතන්නන් සහ රග්බි ලෝලි ජනතාව වෙනුවෙන් thepapare.com, Dialog VIU App ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කිරීමට එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා කටයුතු යොදා තිබේ.

ඩයලොග් ආසිආටා ක්‍රිකට්, වොලිබෝල් හා දැල්පන්දු සහ ESprorts ජාතික කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව කනිෂ්ඨ වොලිබෝල්, ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය,පාසල් ලීග් රග්බි, පිළිමළුන් පිටුදැකීමේ(knockout) හා සත් සාමාජික රග්බි තරගාවලිය,ප්‍රිමියර් පාපන්දු තරගාවලි,යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය හා ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.