Body

eZ Banking සේවාව හඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹෙයි

අගොස්තු 5, 2022         කොළඹදී

 

Dialog Axiata Partners Sampath Bank to Launch Revolutionary eZ Banking Service

ඡායාරූපයේ වමේ සිට දකුණට: සම්පත් බැංකුවේ සමාගම් ලේකම් ලසන්ත සේනාරත්න මහතා, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන ඩිජිටල් නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම මුදල් ජාලය වන eZ Cash සේවාවන් හි තවත් දිගුවක් ලෙස විප්ලවීය eZ Banking සේවාවක් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹ තිබේ.මෙමගින් පාරිභෝගිකයන්ට වඩා සුවපහසුවෙන් තම බැංකු ගනුදෙනු කටයුතු ඉටුකර ගනිමින් විශිෂ්ට අත්දැකීමක් ලබාගැනීමට හැකිවනු ඇත.

ඒ අනුව සම්පත් බැංකුවේ පාරිභෝගිකයන්ට බැංකු ශාඛාවක් හෝ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයක් (ATM) වෙත නොගොස් eZ Banking නියෝජිතයන් හරහා තම බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම යනාදී කටයුතු පහසුවෙන් කළ හැකිවේ. තවද බොහෝ eZ Banking නියෝජිතයන් සාමාන්‍ය බැංකු වේලාවන්ට පමණක් සීමා නොවී ගනුදෙනු කරන බැවින් පාරිභෝගිකයන්ට මේ හරහා සාමාන්‍ය බැංකු වේලාවන්ගෙන් බැහැරව වුවද තම බැංකු ගනුදෙනු ඉටුකරගැනීමට හැකියාව හිමිවේ.

නවතම eZ Banking සේවාව පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “ වත්මන් ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ සිය බැංකු ශාඛාවන් හෝ ATM යන්ත්‍ර වෙත යාම දුෂ්කර වී තිබෙන අවස්ථාවක සම්පත් බැංකුවේ පාරිභෝගිකයන්ට ඔවුන් පදිංචි ස්ථානයට ළඟම සහ යාබද eZ Banking නියෝජිතයන් හරහා පහසුවෙන් තම බැංකු කටයුතු ඉටුකරගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සම්පත් බැංකුව සමඟ එක්වීමට හැකිවීම අපට සතුටක්. “

“තම ආරක්ෂාවට කිසිඳු අවහිරයක් බාධාවක් නොවන අයුරින් බැංකු කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකි ක්‍රමවේද පිළිබඳව අපි නිතරම සොයා බලනවා. ඒ ක්‍රියාමාර්ගය තුළ මෙය විශාල ඉදිරි පියවරක් බව මම සඳහන් කරන්නෙ ඉතාමත් සතුටින්.” යනුවෙන් Sampath Bank PLC හි කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “හැම ශ්‍රී ලාංකිකයෙක්ම වාසය කරන්නෙ බැංකු ශාඛාවක් හෝ ATM යන්ත්‍රයකට ආසන්නව නොවෙන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙක්ටම සාමාන්‍ය බැංකු වේලාවන් තුළ ඒ තැන්වලට ළඟාවීමේ හැකියාව නොතිබෙන්න පුළුවන්.eZ Banking සේවාව මගින් සාමාන්‍ය බැංකු වේලාවන් ඉක්මවා ගනුදෙනු ඉටුකරගත හැකි අතරම, නිවාඩු දිනවල පවා බොහෝ ස්ථාන අතරින් තමන්ට වඩා ළඟම ස්ථානයකින් බැංකු ගනුදෙනු සිදුකළ හැකිවෙනවා.මෙය අතිශයින් ප්‍රතිලාභදායකයි. වර්තමානයේ අපි හැමෝටම මුහුණදීමට සිදුව තිබෙන ප්‍රවාහන ගැටලුව සමඟ සසඳන විට මෙය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක්.”

මූලික අදියරේදී මෙම සේවාව බස්නාහිර පළාතේ තෝරාගත් eZ Banking නියෝජිතයන් මගින් ලබාගැනීමට හැකිවන අතර ඉතා ඉක්මනින් දිවයින පුරා නියෝජිතයන්ගෙන්ද ලබාගැනීමට කටයුතු සැලසෙනු ඇත. eZ Banking සේවාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හෝ ළඟම පිහිටි eZ Banking නියෝජිතයා ගැන දැනගැනීමට https://www.sampath.lk/en/personal/agent-banking/ez-banking වෙත පිවිසෙන්න.