Body

48 වැනි ජෝසප් -පීතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ඩයලොග් විසින් බලගන්වයි

2022 අගෝස්තු 03         (කොළඹදී)

 

48th Josephian Peterite Limited Over Encounter Powered by Dialog

පසුගිය වසරේ පැවති තරගයේ විශේෂ අවස්ථාවක්

ශා.ජෝසප් විද්‍යාලය හා ශා. පීතර විද්‍යාලය අතර ‘පීටර්.ඒ.පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන, මෙරට පාසල් මහා එක්දින ක්‍රිකට් තරගාවලි අතුරින් දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන ජෝසප් -පීතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය 2022 අගෝස්තු මස 6 වැනිදා, පෙරවරු. 9.30 සිට කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

සාන්තුවරයන්ගේ සටනේ පළමු එක්දින තරගය 1975 මාර්තු මස 16 වැනි දින කොළඹ, ශා. ජෝසප් විද්‍යාලයීය පිටියේදී පැවැත්විණි. ඒ ආරම්භයේ සිට මෙම එක්දින තරගය, එහි සැණකෙළි ස්වරූපය සමගින් ශ්‍රී ලංකා වාර්ෂික පාසල් ක්‍රිකට් දින දර්ශනයේ වඩාත් ආකර්ෂණයක් දිනාගෙන ඇති තරගයක් බවට පත්ව තිබේ.

මෙවර තරගයේදී නායකයින් ලෙස කටයුතු කරන ශා. ජෝසප් විද්‍යාලයේ ෂෙවෝන් ඩැනියෙල් හා ශා. පීතර විද්‍යාලයේ වනුජ කුමාර යන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළ 2022 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී හා කැරීබියන් දුපත්හිදී පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.ඔවුන් මෙම තරගයෙන් අනතුරුව නුදුරේදීම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය හා එක්වීමට නියමිතය.

රටේ වත්මන් තත්ත්වය හා කෝවිඩ් -19 රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් මෙවර තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට පාසල් ද්විත්වය තීරණය කර තිබෙන අතර දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් Dialog TV නාලිකා අංක 140 ඔස්සේ, ThePapare.com හා Dialog ViU App ඔස්සේ තරගය සජීවීව විකාශය කෙරේ.

පසුගිය වසරේ එක්දින තරගයේදී ශා.ජෝසප් ක්‍රීඩකයන් හමුවේ ශා.පීතර ක්‍රීඩකයන් පරාජයට පත්වූ නමුත් මෙම වසරේ ‘සාන්තුවරයන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගයේදී කැපී පෙනෙන දස්කම් දක්වන්නට ශා. පීතර කණ්ඩායම සමත් විය.තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වී ඇති එක්දින තරග ඉතිහාසයේ ජයග්‍රහණ 24-20ක් ලෙස පෙරමුණේ පසුවෙන ජෝසප් කණ්ඩායම වසර 3ක පටන් අඛණ්ඩ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වී ඇත.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.