Body

ඩයලොග්, Apple iPhone පරිශීලකයින්ට ශ්‍රී ලංකාවේ ප්‍රථම අත්හදා බැලීමේ 5G ජාලය විවර කරයි

2023 සැප්තැම්බර් 21වැනිදා         (කොළඹදී)

 

Dialog Enables 5G for Apple iPhone

2018 වසරේ දකුණු ආසියානු කලාපයේ මුල් වරට 5G සබඳතාව හඳුන්වා දීමේ පුරෝගාමියා වෙමින්, පෙරළිකාර සන්නිවේදනයකට මුල පිරූ ඩයලොග් ආසිආටා පී. එල් සී, දැන් මෙරට Apple iPhone පරිශීලකයින් වෙතද 5G සබඳතාව පිරි නමමින්, ශ්‍රී ලංකාවේ අත්හදා බැලීමේ 5G සබඳතාව පිරි නමන ප්‍රථම විදුලි සංදේශ සබඳතා සම්පාදකයා ලෙස, සිය සන්නිවේදන විප්ලවයෙහි සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒ අනුව, මෙරට Apple iPhone පරිශීලකයින් හට අත්හදා බැලීමේ 5G ජාලය ඔස්සේ නවමු 5G සබඳතාව අත් විඳිය හැකි වේ.‍

ඩයලොග්, මෙම අත්හදා බැලීමේ 5G ජාලය Apple iPhone මාදිලි 12 හා ඉන් ඉහළ, iOS නවතම සංස්කරණය (version 17) භාවිත කරන පරිශීලකයින් සඳහා මෙලෙසින් පිරි නමන්නේ, දිවයින පුරා ප්‍රදේශ 70 ක් ආවරණය කෙරෙමින් ව්‍යාප්ත කෙරුණු ශ්‍රී ලංකාවේ සුවිශාලතම 5G ජාලය වෙතටද ඔවුන් නිරාවරණය කරමිනි. එම ජාලය ඔස්සේ, පරිශීලකයින්ට 1Gbps දක්වා ඇසුරු සැණෙන් download කර ගැනීමත්, upload කිරීමත් සිදු කර ගත හැකි පරිදි වේගවත්ම 5G සබඳතාවක් අත් විඳීමට හැකියාව සැලසේ. එමෙන්ම, මෙම නවමු හඳුන්වා දීමත් සමග iOS සහ Android උපාංග මාදිලි ගණනාවකටද සහය දක්වන දිවයිනේ පුළුල්තම උපාංග ජාලය සහිත සබඳතාව බවට ඩයලොග් 5G ජාලය පත් වේ. පරිශීලකයින්ට එම උපාංග පිළිබඳ විස්තරද, කොළඹ ඇතුළුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සබඳතාව පිරි නැමෙන ප්‍රදේශ පිළිබඳ තොරතුරුද, www.dialog.lk/5g වෙත පිවිසීමෙන් දැන ගත හැකිය. අත්හදා බැලීමේ 5G ජාලය මෙලෙස දියත් කරමින්, ඩයලොග් මෙම සුවිශේෂී කඩඉම සිය පාරිභෝගිකයින් හා සමරනු වස්, Apple iPhone පරිශීලකයින් හට 5G සබඳතාව පිරි නැමීමෙන් නොනැවතී, එම අසමසම සබඳතාව අත් විඳීම සඳහා මාසික 5GB නොමිලේ data ද තිලිණ කරයි.

‍මෙරට ප්‍රථම වරට අත්හදා බැලීමේ 5G ජාලය දියත් කිරීමේ මෙම නිවේදනයත් සමගින්, ඩයලොග් දකුණු ආසියානු කලාපයේද, ශ්‍රී ලංකාවේද සාඩම්බර සන්ධිස්ථාන ගණනාවක් සටහන් තබයි. ඒ, කලාපයේ ප්‍රථම 5G අත්හදා බැලීමේ ජාලය දියත් කිරීම, ප්‍රථම 5G අත්හදා බැලීමේ Standalone (5G SA) ජාලය දියත් කිරීම, ප්‍රථම ප්‍රමිතිගත ස්ථාවර-රැහැන් රහිත නියමු සම්ප්‍රේෂණය දියත් කිරීම ආදියයි. ඩයලොග් එම සුවිශේෂී සන්ධිස්ථානයන් 2018 වසරේ දෙසැම්බර් මස සනිටුහන් කරනු ලැබිණි. මෙලෙස, ශ්‍රී ලංකාව තුළත් දකුණු ආසියානු කලාපය තුළත් තාක්ෂණික දියුණුව උදෙසා ඩයලොග් කටයුතු කරන්නේ, ‘අනාගතය අදයි’ යන සන්නාම ප්‍රතිඥාවද ඉටු කරමිනි.

ඩයලොග් පාරිභෝගිකයින් හට www.dialog.lk/5g වෙත යොමු වී ඩයලොග්, මෙම අත්හදා බැලීමේ 5G ජාලය අනෙකුත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත කිරීමේ තොරතුරු නිරන්තරයෙන් දැන ගත හැකි වේ.