Body

ඩයලොග්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ගොඩ නැගීමේ අභියෝගයට සියලු නවෝත්පාදකයින්ට ආරාධනා කරයි

2023 සැප්තැම්බර් 19         (කොළඹදී)

 

Dialog's Innovation Challenge

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්. සී, ඩිජිටල් පරිවර්තනයක් තුළින් රට ඉදිරියට ගෙන යමින්, මෙරට ඩිජිටල් අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් Dialog Innovation Challenge හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයෙහිලා සාධනීය එළඹුමක් වන මෙම ජාතික ප්‍රයත්නය හා අත්වැල් බැඳ ගනිමින් නවෝත්පාදන අභියෝගය භාර ගන්නා ලෙස ඩයලොග් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ආරාධනා කර සිටියි.

ඩිජිටල් නවෝත්පාදන අභියෝගය ඔස්සේ, ශ්‍රී ලාංකිකයන්, ව්‍යාපාර හා ප්‍රජාව මුහුණ දෙන ගැටලු වලට තාක්ෂණය පාදක කර ගත් නවතම විසඳුම් පිරීනැමීම අපේක්ෂා කෙරෙන අතර, සිය නවෝත්පාදන හැකියාව හා නිර්මාණශීලිත්වය මෙම පොදු අරමුණ වෙනුවෙන් යොදා ගත හැකි, රටපුරා විසිරී සිටින දක්ෂයින්ට ඩයලොග් මෙලෙස ආරාධනා කරයි. Dialog Innovation Challenge සඳහා යෝජිත විසඳුම්, පවත්නා වෙළෙඳ පොළ වෙනස් කිරීමේ හෝ පවතින ක්‍රියාවලියක් ඉහළ නැංවීමේ හැකියාව සහිත ශක්ය නිශ්පාදනයක් හෝ සම්පූර්ණයෙන් නිම කළ විසඳුමක් වශයෙන් ඕනෑම අදියරක නවෝත්පාදනයන් ඉදිරිපත් කළ හැකිය. වයස අවුරුදු 16 න් ඉහළ සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා විවෘත මෙම අභියෝගය, කිසිඳු නිශ්චිත විෂය පථයක් යටතට සීමා කර නොමැති අතර, ඉහත අරමුණු සපුරාලන ඕනෑම නවෝත්පාදනයක්ද ඊට ඉදිරිපත් කළ හැකි ය. එමෙන්ම, ඩිජිටල් තාක්ෂණයේ පරිවර්තන බල මහිමය විදහා දක්වමින් ස්වකීය නවෝත්පාදන සඳහා AI, machine learning, IoT, computer vision, blockchain, data analytics, robotics, සහ cloud computing ආදි තාක්ෂණයන් භාවිත කිරීමේ හැකියාවද පවතී. දිවයින පුරා සිටින නවෝත්පාදකයින්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැකි ඩිජිටල් නවෝත්පාදන අභියෝගය පිළිබඳ තොරතුරු dialog.lk/ic වෙතින් ලබා ගත හැකිවේ.

රුපියල් මිලියන 5 ක තෑගි සංවිතයකින් සමන්විත මෙම ජාතික අභියෝගය සාර්ථකව ජය ගන්නා නවෝත්පාදකයින් හට ඩයලොග් හා නවෝත්පාදන පද්ධතිය හා මූලාශ වෙත ප්‍රවේශ වීමටද අවස්ථාව සැලසෙන අතර, උපදෙස් හා මග පෙන්වීමද හිමි වේ. තවද, Dialog Innovation Challenge හා එක්වන නවෝත්පාදකයින් වෙත උපදෙස් හා මග පෙන්වීම් ලබා දීමට, ඩයලොග් සමගින් මේ සඳහා අත්වැල් බැඳගෙන සිටින ආයතන ගණනාවකි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය , ජාතික නවෝත්පාදන ආයතනය (NIA), ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), Ceylon Chamber of Commerce (CCC), ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) ආදියෙහි තාක්ෂණික ප්‍රවීණයින් මෙන්ම නවෝත්පාදන ප්‍රමුඛයින් එලෙස සහය පිරිනැමීමට සැදී පැහැදී සිටිති. එපමණක් නොව, Dialog Innovation Fund, Innovation Foundry සහ Ideamart ද මෙම අභියෝගය සමගින් එක්ව සිටියි. මේ සියලු පාර්ශවයන්හි සහයෝගයෙන්, ඉදිරිපත් කෙරෙන නවෝත්පාදන විසඳුම් වැඩි දියුණු කර, අනාගත ආයෝජකයින් සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේ අවධානයට ලක්කර නවමු පරිවර්තනීය ඩිජිටල් ගමන්මගකට ඩයලොග් දායකත්වය දක්වයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙලෙස පැවසීය‍. "තාක්ෂණය තුළින් මිනිස් ජීවිතවල දියුණුව මෙන්ම, සාර්ථක වෙනස්කම් සිදු කෙරෙන ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට ඩයලොග් නවෝත්පාදන අභියෝගය තුළින් හැකි බවට, තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මම විශ්වාස කරනවා. DigiEcon Sri Lanka 2023 – 2030, වේගවත් ජාතික ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙල සමග ශ්‍රී ලංකාව ඉදිරියට යන මෙවැනි අවස්ථාවක, මෙම ඩයලොග් නවෝත්පාදන අභියෝගය තුළින් උපරිම ඵල ප්‍රයෝජන අත්කර ගැනීමට මම සියලු ශ්‍රි ලාංකිකයින් දිරිමත් කිරීමට කැමතියි. ඒ වගේම, රට තුළ නවෝත්පාදන සඳහා නිර්මාණශීලී හැකියාවන් වඩා වඩාත් පෝෂණය කරමින්, තාක්ෂණික දියුණුවේ නව යුගයක් උදා කිරීමට නොසැලෙන කැපවීමෙන් උර දෙන ඩයලොග් ආසිආටා පී. එල්. සී සමාගමට මගේ ප්‍රශංසාවත් හිමි වෙනවා.”

මෙම වැඩසටහන පිළිබඳව ඩයලොග් ආසිආටා පී. එල්. සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතාද අදහස් දැක්විය. “ඩයලොග් අපි අපේක්ෂා කරන්නේ තාක්‍ෂණික විශිෂ්ටත්වයෙන් බබලන, ඩිජිටල් නවෝත්පාදන රටක් වශයෙන් නැගී සිටින ශ්‍රී ලංකාවක්. ඩයලොග් නවෝත්පාදන අභියෝගය, පරිවර්තනීය ඩිජිටල් විසඳුම් ඔස්සේ රටේ අනාගතය එක්සත් කිරීම හා හැඩ ගැස්වීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන ජාතික කර්තව්‍යයක්. ඒ තුළින් අසීමිත තාක්ෂණික හැකියාවන්ගෙන් යුත් යුගයකට ශ්‍රී ලංකාව ගෙන යාමට හා නවෝත්පාදනවලින් මෙන්ම සෞභාග්‍යයෙන් පිරි විචිත්‍ර ඩිජිටල් පාරිසරික පද්ධතියක් බිහි කිරීමට හැකියාව සැලසෙනවා. ඒ අනුව, ශ්‍රී ලාංකීය ජීවිත සවිබල ගැන්වීම හා පොහොසත් කිරීම, රටේ කර්මාන්ත විප්ලවයක් ඇති කර, පෙර නොවූ විරූ දියුණුවක් උදා කිරීමට මග පෑදීම අපගේ අරමුණයි.

www.dialog.lk/ic ඔස්සේ ඩයලොග් නවෝත්පාදන අභියෝගය පිළිබඳ තවත් තොරතුරු දැන ගත හැකිය.