Body

සෙන්කඩගල සිරි දළදා පෙරහැර 17 වැනි වරටත් ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වේ

2023 සැප්තැම්බර් 12         කොළඹදි

 

Dialog MAS Enabler Programme

දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතික හා ආගමික උත්සවය වන කන්ද උඩරට ඇසළ පෙරහර හෙවත් සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය සඳහා මෙවරද සිය බැතිබර අනුග්‍රාහකත්වය පුද කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉපැරණිම ආගමික උත්සවය ලෙසින් කන්ද උඩරට ඇසළ පෙරහර වාර්ෂිකව මහත් හරසරින් යුතුව සමරනු ලබයි. මෙවරද ඩයලොග් අනුග්‍රාහකත්වයෙන් සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය අගෝස්තු 21 දා සිට 31දා දක්වා පැවැත්වුණේ, ශ්‍රි ලාංකේය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම පිණිස වන ඩයලොග් කැපවීමද යළිත් වරක් තහවුරු කරමිනි.

බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් ඉක්බිති පළමු ධර්ම දේශනාව පැවැත් වූ කාල වකවානුව සිහිපත් කරමින් මෙලෙස පුරා දින 10 ක් තිස්සේ, සෙන්කඩගල සිරි දළදා පෙරහැර මංගල්‍යය බැතියෙන් සමරනු ලබන්නේ, අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ හා උන්වහන්සේගේ ආරක්ෂාව භාර නාථ, විෂ්ණු, කතරගතම හා පත්තිනි යන දෙවි දේවතාවුන්ට ගරු බුහුමන් පුද කිරීම අරමුණු කරමිනි. එමෙන්ම, එය භෝග වගාව වෙනුවෙන් නිසි කල වැසි ලබා ගැනීම සඳහා වන සාමූහික යැදුමක්ද වෙයි.

පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා යාබද ප්‍රදේශවලින් මෙන්ම, දුර බැහැර ප්‍රදේශවලින්ද බොහෝ පිරිසක් පැමිණ සිටි අතර ඩයලොග් සමාගම සිය නිවසේ සිටම පෙරහැර දැකබලා ගැනීමේ මාහැඟි අවස්ථාව ඩයලොග් ටෙලිවිෂන් ඔස්සේ තම හිතවත් පාරිභෝගිකයන් වෙත උදාකර දී තිබිණි.

ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ ප්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දෙයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වූ, පූජනීය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය, ශ්‍රී දළදා පෙරහැර සඳහා මෙවර ඩයලොග් සමාගම බැතිබර දායකත්වය උසුලනු ලැබුවේ 17 වෙනි වරටය.