Body

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා නවෝත්පාදකයින් බලගන්වන, Dialog Innovation Challenge වෙත විශිෂ්ට ප්‍රතිචාර

February 1st, 2024         Colombo

 

Dialog Continues to Power Senior National Netball Championship

මෙරට ඩිජිටල් පරිවර්තනයක් කරාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් ක්‍රියාවට නංවන Dialog Innovation Challenge සඳහා මේ වන විටත් දිවයින පුරා එම අභියෝගය භාරගත් නවෝත්පාදකයින් 1200 කට අධික පිරිසකගේ අයදුම්පත් ලැබී තිබේ. මෙරට ඩිජිටල් පරිවර්තනය සඳහා ශක්තිමත් අඩිතාලම දමමින්, ශ්‍රී ලාංකීය ඩිජිටල් අනාගතය හැඩගැස්වීමෙහිලා කැප වන මෙම ජාතික මට්ටමේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලාංකිකයින් දක්වන උද්යෝගිමත් සභභාගිත්වය එමගින් පිළිබිඹු කෙරෙයි.

මෙම ජාතික කර්තව්‍යය හා එක්වන ලෙසට දිවයින පුරාම විසිරී සිටින සියලු ශ්‍රි ලාංකික නවෝත්පාදකයින් කැඳවමින් ඩයලොග් විසින් සිදුකරන ලද ආරාධනයට ප්‍රතිචාර ලෙසින් අයදුම්පත් 1279 ක ප්‍රමාණයක් මෙලෙස ලැබී තිබේ. විවිධ වයස් කාණ්ඩ හා තරග කාණ්ඩ යටතේ ඩිජිටල් නවෝත්පාදන අභියෝගය භාර ගත් අයදුම්කරුවන් අතරට, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළත් ය. මෙම අභියෝගය මගින්, මෙරට ප්‍රජාවගේ ජීවිත මෙන්ම ව්‍යාපාර නගා සිටුවන ඩිජිටල් පාදක කරගත් විසඳුම් පිරිනැමීම අපේක්ෂා කෙරෙන අතර, AI, machine learning, IoT හා blockchain ඇතුළත් තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ඉවහල් කර ගනිමින් සිදු කරන ඩිජිටල් නවෝත්පාදන එහිදී සඳහා සලකා බැලේ. නියමිත කාල සීමාව තුළ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබීමෙන් අනතුරුව, අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් කර ඇති අතර එම අයදුම්පත් අතරෙන්, මුල් වටය සඳහා තෝරා ගන්නා නවෝත්පාදකයින් පෙබරවාරි මස මුලදී දැනුම් දීමට නියමිතය.

රුපියල් මිලියන 5 ක තෑගි සංවිතයකින් සමන්විත මෙම ජාතික අභියෝගය ජය ගන්නා නවෝත්පාදකයින් හට ඩයලොග් හි නවෝත්පාදන පාරිසරික පද්ධතිය හා මූලාශ වෙත ප්‍රවේශ වීමටද මහඟු අවස්ථාවක් උදාවන අතර, එමගින් උපදෙස් හා මග පෙන්වීමද හිමි වේ. එමෙන්ම, මිලියන 500 ක මුල්‍ය වටිනාකමකින් සමන්විත, DIF (ඩයලොග් නවෝත්පාදන අරමුදල) මගින් පහසුකම් ලබන නවෝත්පාදකයකු වීමටද මේ හරහා හැකියාව සැලසේ. මෙම අභියෝගය හා එක්වන නවෝත්පාදකයින් වෙත උපදෙස් හා මග පෙන්වීම් ලබා දීමට, ඩයලොග් සමගින් මේ සඳහා අත්වැල් බැඳගෙන සිටින ආයතන ගණනාවකි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ජාතික නවෝත්පාදන ඒජන්සිය (NIA), ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC), ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ලංකා වානිජ මණ්ඩලය (CCC), මේ සඳහා එක්ව සිටින අතර, ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL), ඩයලොග් නවෝත්පාදන අරමුදල (DIF), Lanka Angel Network, Innovation Foundry සහ Ideamart යන ආයතනද, එලෙස මෙම ජාතික මට්ටමේ කර්තව්‍යය සාර්ථක කරගැනීමට පාර්ශවකරුවන්, ආයෝජකයින් මෙන්ම, හවුල්කරුවන් සම්බන්ධ කරමින් උපදේශකත්වය පිරිනැමීමට සැදී පැහැදී සිටියි.

මෙම අභියෝගය වෙනුවෙන් ඉදිරිපත් වන සෑම සුවිශේෂී නවෝත්පාදන සංකල්පයක්ම, විශේෂිත ලකුණු ක්‍රමයක් ඔස්සේ, ක්ෂේත්‍රයේ කීර්තිමත් විනිසුරු මඩුල්ලකගේ සහභාගිත්වයෙන් තේරීම් සිදු කෙරේ. එහිදී කඩඉම් ලකුණු අභිබවා යන ඩිජිටල් නවෝත්පාදන විසඳුම්, තරගකරුවන් විසින් විනාඩි 5 ක වීඩියෝවකින් සවිස්තරව ඉදිරිපත් කිරීම අපේක්ෂා කෙරෙන අතර, විනිශ්චය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමෙන් පසුව, ඊළඟ වටය සඳහා සුදුසුකම් සපුරන නවෝත්පාදකයින් තෝරා ගනු ලැබේ. එලෙස දෙවැනි වටයට තෝරා ගන්නා අයදුම්කරුවන් පිරිසට තාක්ෂණික හා ව්‍යාපාරික යන ක්ෂේත්‍ර දෙකම ඉලක්ක කරමින්, ඔවුන්ගේ ඩිජිටල් විසඳුම් තවදුරටත් ඔප් නැංවිම පිණිස අවශ්‍ය පුළුල් මග පෙන්වීම් සිදු කෙරේ. මෙම උපදේශනාත්මක වැඩසටහන මගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සාර්ථක ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කිරීමට නවෝත්පාදකයින් සවිමත් කිරීම අපේක්ෂිතය.

Dialog Innovation Challenge පිළිබඳ වැඩිදුර තොරතුරු www.dialog.lk/ic වෙත පිවිසීමෙන් දැනගත හැකිය.