Body

'ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක' ලෙසින් ඩයලොග් ආසිආටා ක්‍රිකට් බල ගන්වයි

2024 ජනවාරි 4         කොළඹ

 

Dialog - Official National Team Sponsor

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, සංචාරක, ඉඩම් හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ මහේසන්, ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර යන මහත්වරු ඡායාරූපයේ දැක්වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන අවියෝජනීය කැපවීම යළිත් වරක් තහවුරු කරයි. දේශීය මෙන්ම, ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කුසලතා පෝෂණය කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙලෙසින් සිය නොසැලෙන කැපවීම විදහා දක්වන ඩයලොග්, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සමග හවුල්කාරිත්වය දීර්ඝ කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් නැවතත් සතුටින් එක්ව සිටියි.

ජාතියේ ක්‍රීඩාශීලීත්වය බලගැන්වීමේ කටයුත්තේ දශකයට අධික ඉතිහාසයක් සහිත ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ක්‍රීඩාවේ අංක එකේ ප්‍රවර්ධකයා ලෙසින්, ජාතික ක්‍රිකට් කණ්ඩායම බලගැන්වීමේ කටයුත්ත වෙනුවෙන් යළිත් වරක් ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එළඹි මෙම සබඳතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා '' ශ්‍රී ලාංකේය ජාතියේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඩයලොග් ආසිආටා විසින් ලබාදෙන නොමඳ දායකත්වය පිළිබඳව මගේ හෘදයාංගම ස්තුතිය පුදකිරීමට කැමතියි. සිය නොපසුබට උත්සහයෙන්, වසර ගණනාවක් පුරා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පෝෂණය කිරීමට ඩයලොග් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළා. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වය සමගින්, ඉදිරි වසරවලදී, ශ්‍රී ලංකාවේ දක්ෂතාපූර්ණ තරුණ තරුණියන් බලගන්වමින් ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා අවකාශයන්හි දක්ෂතා දැක්වීමට මාහැඟි අවස්ථාවන් රැසක් උදාවනු ඇති බවට අපගේ විශ්වාසයයි.” යනුවෙන් පැවසීය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින්' 'ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක' ලෙසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇති දශකයකට අධික සබඳතාව තවදුරටත් පෙරට රැගෙන යෑමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සන්නාමය බවට ඩයලොග් ඔසවා තැබූ, මිලියන 17කට අධික ගෘහස්ථ හා වහාපාරික ප්‍රජාවකගේ විශ්වාසනීය ඩිජිටල් සහකරු ලෙසින් අපගේ පාරිභෝගික සහ සෙසු ශ්‍රී ලාංකිකයන් සමග එක්වෙමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ විශිෂ්ඨත්වයක් වෙත රැගෙන යෑම වෙනුවෙන් දායකවීමට ලැබීම සුවිශේෂී වරප්‍රසාදයක්'' යැයි පවසන ලදි.

'ජාතික කණ්ඩායාමේ අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටාහී කාර්යභාරය පොදුවේ ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයට සාධනීය පෙරනිමිත්තක්. ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සහජීවනය සපිරි මෙම හවුල්කාරීත්වය, අපගේ ප්‍රෙක්ෂකයන්ට අගනා අත්දැකීම් හා වටිනාකම් දායක කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වන ඒකාබද්ධ කැපවීම සඳහා ශක්තිමත් සුසංයෝගයක් ද වෙනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසා සිටි‍යි.

ශ්‍රී ලංකාව 1996 එක්දින ලෝක කුසලාන සහ 2014 අයි.සී.සී පන්දුවාර 20 ලෝක කුසලාන සමගින් දෙවරක් ලෝක ශූරයන් බවට පත්ව සිටින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2022 කුසලාන සමග 1986 සිට මේ දක්වා හයවරක් ආසියානු ශූරයන් වීමට සමත්ව සිටියි. එසේම 2002 අයි.සී.සී ශූරයන්ගේ කුසලනයේ සම ශූරතාවද දිනාගත් ලංකාව දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියකදී ඔවුන්ව පරාජයකිරීමට සමත් වූ මෙතෙක් එකම ආසියානු රට ද වේ. ජගත් ක්‍රිකට් වංශකථාවේ සුවිශේෂී චරිත බිහිකිරීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර ටෙස්ට් කඩුලු 800ක් දවාගත් මුත්තයියා මුරලිදරන්, ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රහාරාත්මකම පිතිකරුවකු වන සනත් ජයසූරිය, ප්‍රේක්ෂකයන් පිනවූ පිතිකරු අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධන වැනි නායකත්වයේ අගතැන්පත් ක්‍රීඩකයන්, වර්ෂ 2012 මෙන්ම 2015 දී 'වසරේ විස්ඩන් ක්‍රීඩකයා' ලෙසින් සම්මානයට පාත්‍ර වූ මෙන්ම මාලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා බවට පත්වීමට වරම් ලැබූ කුමාර් සංගක්කාරද ඒ අතර වෙති.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු මෙන්ම ඊ- ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හී සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව සමගද සමීපව කටයුතු කරයි.