Body

ඩයලොග් ශක්තිය මෙවරත්, ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට හිමි වේ

2024 ජනවාරි 18         කොළඹදී

 

Dialog Continues to Power Senior National Netball Championship

වමේ සිට දකුණට: ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි, වික්ටෝරියා ලක්ෂ්මී සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී, අශානි සේනාරත්න.

ක්‍රීඩාවෙහි නැගී එන දක්ෂතා ඔප් නංවන අතරෙහි, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තාවන් බල ගන්වන, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා මෙවරත් සවිබලය සපයයි. ශ්‍රි ලංකාවෙහි දක්ෂතා පිරිපුන් දැල්පන්දු ක්‍රිඩිකාවන්ට සවියක් වෙමින්, මෙවර මෙම ශූරතාවලිය සඳහා ඩයලොග් ශක්තිය සැපයෙන්නේ අඛණ්ඩ 5 වැනි වසරටයි.

නෙට්බෝල් ක්‍රීඩවෙහි දක්ෂතා පිරිපුන් ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට ඔප මට්ටම් කෙරෙන මෙම ශූරතාවලිය, වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේ දී මෙම මස 20 හා 21 දිනවල පැවැත්වේ. ශූරතාව සඳහා කණ්ඩායම් 35 ක් තරග වදින තරගාවලියෙහි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, 2024 ජනවාරි 21 වැනිදා ය. 2024 ආසියානු දැල්පන්දු ශූරතාව ඉදිරියේ ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ලහි ලහියේ සූදානම් වන අතරවාරයේ පැවැත්වෙන මෙම තරගාවලිය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයටද ඉතාමත් වැදගත් තරගාවලියකි. ඒ, මේ හරහා අනාගත නෙට්බෝල් තරග බිමට කැපී පෙනෙන දක්ෂතාවලින් යුතු ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් තෝරා ගැනීම එම සම්මේලනයේ අපේක්ෂාව වන බැවිනි.

මෙම ජාතික ‍ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සාර්ථක ලෙසින් පැවැත්වීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන ඩයලොග්, එම තරගාවලියේ අවසාන මහා තරගය සේම, අර්ධ අවසන් තරගය https://www.thepapare.com/ හා Dialog ViU මොබයිල් app ඔස්සේ සජීවිව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. එම තරග, ජනවාරි 21 වැනිදා (ඉරිදා) ප. ව. 12.00 සිට ක්‍රීඩාලෝලීන්ට නැරඹීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි, වික්ටෝරියා ලක්ෂ්මී, මෙරට දැල්පන්දු ක්‍රීඩාව නගා සිටුවීමට ඩයලොග් දක්වන අප්‍රතිහත ශක්තිය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. “පහුගිය අවුරුදු කිහිපය තිස්සේම, කණ්ඩායම දක්ෂතා අතින් ඉතාමත් දියුණු තත්ත්වයට පත් වුණා. ඒ කාලය පුරාම අප සමගින් ශක්තියක් වෙමින් රැඳී සිටි ඩයලොග් ආසිආටා සමාගමට අපගේ හදපිරි ස්තුතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී, අශානි සේනාරත්නද මේ පිළිබඳව සිය අදහස් පළ කළාය. “ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තාවන් සවිබල ගැන්වීම අපි දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන එන කටයුත්තක්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නැගී එන දක්ෂතා පෝෂණය කරමින්, ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය අඛණ්ඩ 5 වැනි වසරටත් පැවැත්වීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. ඒ වගේම, ආසියානු දැල්පන්දු කිරුළ යළිත් සුරක්ෂිත කිරීම සඳහා මෙහෙයවන, දැල්පන්දු සම්මේලනයට මගේ ප්‍රශංසාව පුද කිරීමටත් කැමතියි. මේ ශූරතාවලිය මගින් ජාතික තලයෙහි දක්ෂ ක්‍රීඩිකාවන් සංචිතයක් හඳුනා ගැනීම පමණක් නොවෙයි, මෙරට දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකා පරපුරක් බිහි කිරිමේ අපගේ කැපවීම තව තවත් තහවුරු කෙරෙනවා. මෙම ශූරතාවලිය තුළින්, තියුණු උද්වේගකර තරගාවලියක් නැරඹීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, මේ හරහා ජාතික මට්ටමේ දැල්පන්දු ක්‍රීඩාව තවදුරටත් නගා සිටුවීමත් අපගේ අපේක්ෂාවයි.”

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියෙහි අවසාන මහා තරගයේදී ලකුණු 45-28 ක් ලෙසින් පහසු ජයක් සමග ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම පැරදවූ HNB කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු මෙන්ම ඊ- ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හී සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව සමගද සමීපව කටයුතු කරයි.