Body

ඩයලොග් සහ Health Informatics Society of Sri Lanka නව්‍යකරණය සඳහාවූ ඩිජිටල් සෞඛ්‍ය පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීමට එක්වෙයි

ඔක්තෝබර් 18, 2019         Colombo

 

news-1

(වමේ සිට දකුණට) ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය රෝහණ බැසිල් මාරසිංහ, ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමයෙහි හිටපු සභාපති සහ ඩිජිටල් සෞඛ්‍ය වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්.දිසානායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ප්‍රදීප් ද අල්මේදා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජාල මෙහෙයුම් සහ සේවා සහතිකවීම පිළිබඳ උප සභාපති ඉන්දික වල්පිටගේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය (Dialog Axiata PLC), ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී සංගමය (Health Informatics Society of Sri Lanka - HISSL) සමඟ එක්ව සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා නව්‍ය ඩිජිටල් විසඳුම් ලබාදීමේ අරමුණින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ‘නව්‍යකරණය සඳහාවූ ඩිජිටල් සෞඛ්‍ය පර්යේෂණාගාරයක්’ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරයි.

යෝජිත පර්යේෂණාගාරය ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වන්නේ සෞඛ්‍ය සේවය තුළ නව තාක්ෂණය පදනම් කරගත් "ඩිජිටල්" නිෂ්පාදන සහ සේවා නිර්මාණය, පර්යේෂණය, සංවර්ධනය හා ඒවායේ ප්‍රතිඵල වාණිජකරණය තුළින් ප්‍රජාවන් අතර ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමයි.

තවද තාක්ෂණ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම, විද්‍යාත්මක නිපදවීම් සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවයට පවතින බාධා ඉවත් කිරීම, එම ක්‍රියාවලිය තුළ ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය සේවා අංශයේ නව්‍යකරණ සරල කිරීම, ඩිජිටල් සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තීය සංවර්ධනයක් ඇති කිරීම සහ ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් ප්‍රවර්ධනය කිරීම ආදී අනෙකුත් අරමුණු ඉටුකරගැනීම සඳහා විශිෂ්ට ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ නව්‍යකරණ කේන්ද්‍රස්ථානයක් පිරිනැමීම මෙහි සෙසු අරමුණු අතර වෙයි.

මෙකී පර්යේෂණාගාරය මගින් Internet of Medical Things, Genomics and Bioinformatics /ජීව විද්‍යාවේ ජෙනෝම පිළිබඳ අංශය සහ ජෛව තොරතුරු, Point of Care Biomarker පද්ධති, Artificial Intelligence (AI), Big Data and Blockchain යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ගවේෂණය කිරීමට බලාපොරොත්තු වේ.

සෞඛ්‍ය සහ වෛද්‍ය තොරතුරුවේදීන්ගේ වෘත්තීය සංවිධානය වන ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී සංගමය (Health Informatics Society of Sri Lanka) යෝජිත පර්යේෂණාගාරය සඳහා සෞඛ්‍ය තොරතුරුවේදී විශේෂඳ වෛද්‍ය දැනුම සපයනු ලබන අතර, රටේ ප්‍රමුඛතම තාක්ෂණික සවිබලගන්වන්නා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog Axiata PLC) විසින් තමන් සතු නවතම තාක්ෂණික පහසුකම්වලින් එය බලගන්වනු ලබයි.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජාල මෙහෙයුම් සහ සේවා සහතිකවීම පිළිබඳ උප සභාපති ඉන්දික වල්පිටගේ මහතා, “රෝගීන් තම නිවස තුළදීම පහසුවෙන් රැකබලා ගැනීමේ කාර්යය සහ පහසුවෙන් දැරිය හැකි මිලකට ලබාගත හැකි සෞඛ්‍ය සේවාවකින් ප්‍රජාව සවිබලගන්වමින්, ජීවිතය හා සබැඳි විද්‍යාවන් හා සම්බන්ධවීම සඳහා විසඳුම් වැඩිදියුණු කල හැකි ‘නව්‍යකරණය වූ ඩිජිටල් සෞඛ්‍ය පර්යේෂණාගාරය’ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී සංගමය (Health Informatics Society of Sri Lanka) සමඟ පාර්ශ්වකරුවෙකු වෙන්නට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටට පත්වෙනවා. දෙපාර්ශ්වයේම අතිශයින් ප්‍රබල ශක්‍යතාවන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය, සෞඛ්‍ය - තාක්ෂණික විප්ලවයක් දක්වා ගෙනයාමට මුල්වනු ඇති බව නොඅනුමානයි. මෙය සෞඛ්‍ය සේවා පද්ධතීන් ඩිජිටල්කරණය මගින් සිදුකිරීමට අපේක්ෂා කරන අතර මෙහිදී මෙමගින් රෝගීන් රැකබලා ගැනීමේදී සිදුවන අඩුලුහුඬුකම් පිටුදැකීමට හැකියාව ලැබේ. තවද සැබැවින්ම අනාවැකි පල කල හැකි, පුද්ගලාරෝපණය කරන ලද සහ රෝග වැළැක්විය හැකි සෞඛ්‍ය සේවාවක් පිළිබඳ රෝගියාට වෙනස්ම අත්දැකීමක් මෙමගින් හිමිවනු ඇති.”

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමය (Health Informatics Society of Sri Lanka -HISSL) වෙනුවෙන් මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්.දිසානායක “ ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමය විසින් පසුගිය දශකය පුරාවට ඩිජිටල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සකසුරුවම් නවොත්පාදන ප්‍රවර්ධනය සිදුකරමින් සිටී. මේ නවෝත්පාදනවලින් ජාතික සෞඛ්‍ය සේවාවට මහත් ප්‍රතිලාභ හිමිවී තිබේ. සෞඛ්‍ය සේවා ආයතනවලට යාම වෙනුවට එම සේවාවන් ප්‍රජාව තුළ, ඔවුන්ගේ නිවෙස් වෙතම ලබාදීම සවිබලගන්වන නවෝත්පාදන වේගවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව පවතී. අප විසින් ස්ථාපිත කිරීමට යෝජිත නව්‍යකරණය වූ ඩිජිටල් සෞඛ්‍ය පර්යේෂණාගාරය ඉහත සඳහන් කාර්යය ඉටුකරදීම සඳහා අප හට පිටිවහලක් වනු ඇත.”