Body

ඩයලොග් රිදී රැයක් 2019 සමඟින් - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රාසාංගික වැඩසටහන 5 වෙනි වරටත් සජීවිව

28 November 2019         Colombo

 

news-1

රිදී තිරය බබලන තරු සජීවිව රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන ‘ඩයලොග් රිදී රැයක් 2019’, දෙසැම්බර් 21 වෙනිදා සවස 6.30 සිට සජීවිව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

වසර ගණනාවක් පුරාවට මෙරට රසික සම්භාවනාවට පාත්‍රවී තිඛෙන මෙම විචිතවත් ප්‍රසංගය සඳහා 5 වෙනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත්වී සිටී. 320කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුබසිද්ධිය පිණිස කැපවූ අරමුදල ගොඩනැංවීමේ අරමුණින්, සිනෙස්ටාර් පදනම විසින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. රිදී රැයක් ප්‍රසංගය මගින් උපයනු ලබන මුදලින් වෛද්‍ය හා ජීවිත රක්ෂණාවරණ පිරිනැමෙන අතර, වියපත් ශිල්පීන් හට මාසික දීමනාවන් ලබාදීමට සිනෙස්ටාර් පදනම කටයුතු කරයි.

සිංහල සිනමාවේ දීර්ඝකාලීන සම්ප්‍රදාය ගෞරවාන්විතව ඉදිරියට රැගෙන යමින් 17 වෙනි වරටත් සජීවිව පැවැත්වෙන ‘ඩයලොග් රිදී රැයක් 2019’ ප්‍රසංගයේදී විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට මිහිරි නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක් සැදී පැහැදී සිටිති. රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, වීණා ජයකොඩි, ජීවන් කුමාරණතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, චන්න පෙරේරා, ජැක්සන් ඇන්තනී, යශෝධා විමලධර්ම, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, මංජුලා කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සාරංග දිසාසේකර, පුබුදු චතුරංග, රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, ගිරිරාජ් කෞශල්‍ය, චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, ඩිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්, උදාරි පෙරේරා, ශලනි තාරකා, රුවන් වික්‍රමසිංහ, ප්‍රියන්ත විජේකෝන්, උදාරි වර්ණකුලසූරිය, සෙනාලි ෆොන්සේකා, තාරුකා වන්නිආරච්චිල චුලක්ෂි රණතුංග ඇතුළු බොහෝ පිරිසක් මෙම තරු පොකුරට අයත් වෙති. වසර 15 ක්ම රිදී රැයක් වේදිකාවේ නර්තන නිර්මාණ ඉදිරිපත් කළ චන්න උපුලී නර්තන කණ්ඩායම නැවතත් රිදී රැයක් වේදිකාව ඒකාලෝක කරන්නට සූදානමින් සිටී.

මීට අමතරව මෙම ප්‍රසංගයේදී ජාත්‍යන්තරව ජනාදරයට පත් වීඩියෝ ඇප් එකක් වන Tik Tok app challenge සඳහා ඉදිරිපත් වී ‘ඩයලොග් රිදී රැයක් 2019’ ප්‍රසංගයේදී ජීවිතයේ එක් අවස්ථාවක පමණක් හිමිවන, තමන් කැමතිම ශිල්පීන් සමඟ සජීවිව රංගනයකට එක්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

දේශීය කලාව හා සංස්කෘතියේ වටිනාකම් අගයන, කලාකරුවන්ගේ සුභසිද්ධියට නිරතුරුවම කැපවන ඩයලොග් ආසිආටා සමාගම, 2015 වසරේ සිට අඛණ්ඩව මේ වසරේදී රිදී රැයක් ප්‍රසංගය බලගන්වනු ලබයි.

Dialog රිදී රැයක් 2019 ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිල රු. 1,000, රු. 2,000, රු. 3,000, රු. 5,000, රු. 6,000, සහ රු. 7,500 වන අතර, බොරැල්ලේ සදීපා, නුගේගොඩ, මහරගම හා කිරිබත්ගොඩ සරසවි පොත්හල් වෙතින් සහ නවලෝක රෝහලේ පිහිටි සිනෙස්ටාර් ප්‍රධාන කාර්යාලයෙන්ද ලබාගත හැක. තවද ඕනෑම Dialog ජංගම දුරකථනයකින් 444 අමතා හෝ ඩයලොග් නොවන වෙනත් ජාල සඳහා 444 වෙබ් අඩවිය හෝ App එක ඔස්සේ ප්‍රවේශපත් ලබාගැනීමේ හැකියාවද ඇත. ප්‍රවේශපත්‍ර පිළිබඳ විමසීම් 0777 372 700 ඇමතීමෙන් ලබාගත හැකිය.