Body

2021 ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය

කොවිඩ් - 19 හේතුවෙන් ඩුබායි හි පැවැත්වෙන ආසියානු සත් සාමාජික තරගාවලියේ කොළඹ තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වයි

November 1, 2021         Colombo

 

Qais A. Al Dhalal, President of Asia Rugby

ආසියානු රග්බි සභාපති කයිස් ඒ.අල් දලාල් මහතා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම, ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහාද අනුග්‍රාහකත්වය ලබාදීමට එක්වෙමින් 2021 නොවැම්බර් 19 සහ 20 දිනයන්හි දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ මූලික අදියරේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබයි.

2015 වසරේ සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට අදාළ ශ්‍රී ලංකා තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කර ඇත. 2019 වසරේ ආසියානු සත් සාමාජික තරගාවලියේ දී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹදී ක්‍රීඩා කළ අතර, කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් ඉන් පසුව එම තරග නොපැවැත්විණ. එහෙයින් 2021 වසරේ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ඩුබායිහි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් ආසියාව පුරා රග්බි ක්‍රීඩා කරන රටවල් අතර පවතින තියුණු තරගාවලියක් බවට මෙය පත්වනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආසියානු රග්බි සභාපති කයිස් ඒ. අල් දලාල් මහතා සඳහන් කර සිටියේ “2021 ඩයලොග් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ආසියානු රග්බි ආයතනය හා ඩයලොග් ආයතනය අතර ඇති කරගත් අනුග්‍රාහක එකඟතාවය පිළිබඳව මම ඉතා සතුටට පත්වෙනවා.’‘ යනුවෙනි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ “2021 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වැනි සුවිශේෂී තරගාවලියක ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලාංකේය සමාගමක් ඉදිරිපත් වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. එසේම එම තරගාවලිය මෙන්ම එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන ඩයලොග් ආසිආටා ආයතනයට මම මෙහිදී ස්තුති වන්ත වෙන අතර, ටස්කර්ස් කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු වන ජයග්‍රහණයන් ඉටු කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “2015 වසරේ සිට ඩයලොග්, ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ පැවැත්වෙන තරග සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට කටයුතු කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට යමින් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගෙන යාමට හැකිවීම අප ලද ජයග්‍රහණයක්. ශ්‍රී ලාංකේය ක්‍රීඩාව වෙනුවෙන් නිරන්තරයෙන් අනුග්‍රාහකත්වය දක්වන ආයතනයක් ලෙස ඒ පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව ආසියානු රග්බි පාපන්දු සංගමයේ සභාපති කයිස් ඒ. අල් දලාල් මහතාට මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. අවසාන වශයෙන් මෙය ශ්‍රී ලංකා ටස්කර්ස් කණ්ඩායමට වඩාත් සාර්ථක තරගාවලියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.”යනුවෙනි.

2021 ඩයලොග් ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ThePapare.com සහ Dialog ViU ජංගම යෙදුම තුළින් සජීවීව නැරඹීමේ අවස්ථාව උදාකර දී තිබීම විශේෂත්වයකි.