Body

1390 ජාතික ඒකාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර විසඳුම මඟින් රෝගීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සාර්ථකව සත්කාරක සේවා ලබාදෙයි

November 21, 2021         Colombo

 

1390 powered by Dialog, BOC and Wavenet

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවන ලද 1390 ජාතික ඒකාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර විසඳුම මඟින් නිවෙස්වල නිරෝධායනය වූ කොවිඩ් - 19 රෝගීන් 100,000 කට අධික සංඛ්‍යාවකට සාර්ථකව සත්කාරක සේවා ලබාදීමට සමත්ව තිබේ. මෙම සද්කාර්යය වෙනුවෙන් ලෝක බැංකුවේ සහාය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහායද හිමිවූ අතර, ඩයලොග් ආසිආටා පීඑල්සී, ලංකා බැංකුව සහ වේව්නෙට් (පුද්) සමාගමේ සාඩම්බර සවිබලය ඊට හිමිවිය.

PCR සහ RAT (රැපිඩ් ඇන්ටිජන්) පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර ඒකාබද්ධ වූ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ නිසි කළමනාකරණයකින් යුතුව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීම පිණිස, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ගාස්තු රහිත 1390 හදිසි ඇමතුම් අංකය සහ රෝගීන් කළමනාකරණය කිරීමේ පද්ධතිය හඳුන්වාදෙන ලදී. 1390 හදිසි ඇමතුම් අංකයට සහ සියලුම සන්නිවේදන අවශ්‍යතාවයන් සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රහය හිමිවන අතර, රෝගී කළමනාකරණ පද්ධතිය සඳහා වේව්නෙට් සමාගමේ අනුග්‍රහයද, ඇමතුම් මධ්‍යස්ථානය සඳහා ලංකා බැංකුවේ අනුග්‍රයද හිමිවිය. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට නායකත්වය දෙනු ලැබූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්බන්ධීකරණයෙන් පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් 600 දෙනෙකු ඒ වෙනුවෙන් අනුයුක්ත කෙරිණි.

1390 ජාතික ඒකාබද්ධ ගෘහස්ථ සත්කාර විසඳුම සාර්ථකව ක්‍රියාත්මකවීම හරහා කොවිඩ් - 19 වසංගතයේ උච්චතම අවස්ථාවේ නව වෛරස් ප්‍රභේද ව්‍යාප්තවීමට පටන්ගත් පසුබිමක රෝහල්වල සෞඛ්‍ය සේවා පද්ධතියට ඉටුකිරීමට සිදුවූ අසීරු කාර්යභාරය අවම කිරීමට සමත්විය. මෙම විසඳුම මගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන සහ අසාධ්‍ය තත්වයේ පසුනොවන රෝගීන් දුරස්ථව අධීක්ෂණය කරමින් කළමනාකරණය කිරීමේ පහසුකම සලසාදීම නිසා, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවා සම්පාදකයන්ගේ වෙහෙසකර කාර්යභාරය අවම කිරීමට ඉවහල් විය. සෞඛ්‍ය සේවකයන් ඉතාමත් ඉක්මණින් මෙම විසඳුමට හැඩගැසීම නිසා රෝගීන්ගේ දත්ත කළමනාකරණය කිරීම, ඔවුන්ගේ වාර්තා තබාගැනීම සහ රෝගීන්ට නිසි ගෘහස්ථ සත්කාරක සේවාවක් ලබාදීමට ගතවන කාලය මැනවින් හැසිරවීම යන ක්‍රියාවලි‍ය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි පහසුවක් විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ 1390 හදිසි ඇමතුම් අංකය මේ වනවිට මහජනතාවටද විවෘතව පවතින අතර, ඔවුන්ට කොවිඩ් - 19 ආසාදනය වී තිබෙන බව තහවුරු වුවහොත් අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය සඳහා තම නම ලියාපදිංචි කළ හැක. මේ හරහා කොවිඩ් -19 හා සම්බන්ධ රෝගීන් පරිපාලනය කිරීමෙහි ලා මධ්‍යම කේන්ද්‍රස්ථානයක් නිර්මාණය වෙයි. කොවිඩ් - 19 ආසාදනය වූ රෝගීන් තවමත් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා යටතේ ලියාපදිංචිවී නැත්නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට යටත්ව ඔවුන්ට තම නිවෙස්වල සිටම සුරක්ෂිතව ප්‍රතිකාර ලබාගැනීම සඳහා 1390 අංකය අමතා ගෘහස්ථ සත්කාර විසඳුම සඳහා ලියාපදිංචි විය හැක.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,වෛද්‍ය අසේල ගුණවර්ධන,“ කොවිඩ් -19 මර්ධනය කිරීම සඳහා රටක් වශයෙන් අප විසින් ක්‍රියාවට නංවා තිබෙන ජාතික වැඩපිළිවෙලට ලැබෙන පිටිවහලක් වශයෙන් මෙම 1390 ගෘහස්ථ සත්කාර විසඳුම හඳුන්වාදීමට පුළුවන්. මෙම විසඳුම සාර්ථක කරගැනීමට දායකවූ සෞඛ්‍ය සේවා සේවකයන්ගේ ඉමහත් කැපවීම වගේම, රෝගීන් කළමනාකරණය කිරීමේ පද්ධතිය ක්‍රියාවට නැංවීමට සහාය දුන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට, ලංකා බැංකුවට සහ වේව්නෙට් සමාගමටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනුවෙන් ලබාදුන් සහායටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මගේ කෘතගුණ දක්වා සිටිනවා. මෙම ජාතික කර්තව්‍යය අපේ රටට වටිනා සම්පතක් වනවා සේම මේ සඳහා දායකවූ සියලුම පාර්ශවයන්ගේ සාමූහික ප්‍රයත්නය රට තුළ පවතින වසංගත තත්වය පාලනය කිරීමට නිසි පහසුකම් සලසන අතර, සෑම ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වූ දීර්ඝකාලීන වැඩපිළිවෙලටද පහසුකම් සලසනවා.”

“මේ වන විට 600 කට අධික වෛද්‍යවරුන් සහ පූර්ව සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකගේ සහායෙන් නවීනතම තාක්ෂණික පහසුකම් උපයෝගී කරගනිමින් නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 රෝගීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් නිසි වාර්තා ක්‍රම්වේදයක් අනුගමනය කරමින් සහ සායනික ක්‍රියාවලියට අනුකූලව අධීක්ෂණය කිරීමට සමත්ව තිබෙනවා. ඉහළම ප්‍රමිතියෙන් යුත් කොවිඩ් රෝගීන් අධීක්ෂණය කිරීමේ පද්ධතියකට ජීවය ලබාදීමට ඉදිරිපත් වෙමින්, අනාගතයේදීත් වඩා හොඳින් කොවිඩ් - 19 කළමනාකරණය කිරීමට සමත් දියුණුතම පද්ධතියක් ක්‍රියාත්මක කරමින්, ලෝකයටම පූර්වාදර්ශයක් ලබාදීම වෙනුවෙන් අපට ශක්තියක් වූ ඩයලොග් සමාගමටත්, ලංකා බැංකුවටත්, වේව්නෙට් සමාගමටත් අපේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා.”යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා “කොවිඩ් - 19 මර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා සම්පාදකයන් ඉටුකරන කාර්යභාරය සඳහා තවදුරටත් සහාය ලබාදීමට අපට නැවත වරක් අවස්ථාව සලසාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික මෙහෙවර සාර්ථක කරගැනීමටත්, එයින් බලපෑම් එල්ලවූ අයටත් සහායවීම වෙනුවෙන් අපට ශක්තියක් වෙමින් එක්වූ වේව්නෙට් ඉන්ටර්නැෂනල් සමාගමටත්, ලංකා බැංකුවටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.”

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා අදහස් දක්වමින්, “ඩයලොග් ආසිආටා හා වේව්නෙට් සමාගම් සමඟ එක්ව මෙම වැඩසටහන යටතේ ගෘහස්ථව ප්‍රතිකාර ලබන රෝගීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සාර්ථකව සත්කාරක සේවා සලසමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට හැකිවීම ලංකා බැංකුවේ අපට මහත් ආඩම්බරයක්. පශ්චාත් කොවිඩ් කාලසීමාවක් තුළ අනාගතයේදී මෙම සේවාවට, ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වශයෙන් කාර්යභාරයක් ඉටුකිරීමට අවස්ථාවක් සැලසෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙම සද්කාර්ය වෙනුවෙන් දායකවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට වගේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ටත් මේ අවස්ථාවේදී මගේ ප්‍රණාමය පුදකර සිටිනවා.”

ග්ලෝබල් වේව්නෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් පින්ටෝ මෙසේ පැවසීය, “අති නවීනතම තාක්ෂණයෙන් රටේම සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සපුරාලීමට සමත් ශක්තිමත් හා කාර්යයක්ෂම ක්‍රමවේදයක් හඳුන්වාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා සමාගම හා ලංකා බැංකුව සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ තාක්ෂණික ක්ෂේත්‍රය නිරන්තරයෙන් ඉහළ නැංවීම වෙනුවෙන් අපේ කැපවීම ඉතා හොඳින් නිරූපණය වන අවස්ථාවක් වශයෙන් මෙම සුවිශේෂී සන්ධිස්ථානය හඳුන්වාදෙන්න පුළුවන්.”