Body

ඩය‍‍ලොග් විසින් බලගන්වන 105 වැනි කඳුරට නිල් මහ සටන 15 සහ 16 දෙදින

2024 මාර්තු 12         කොළඹදී

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය බ්‍රයන් සේනාරත්න, ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මනුල කුලරත්න, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර, අලෙවි මෙහෙයුම්, ප්‍රශාන් කොස්තා, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ග්‍රෙගරි ප්‍රනාන්දු පියතුමා, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක තිසර ඒකනායක, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය නාලක සංජීව යන පිරිස ඡායාරූපයේ දැක්වෙති.

හෙට දිනයේදී ශූරයින් සවිබල ගැන්වීම සඳහා වන සිය ප්‍රයත්නය යටතේ, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වනු ලබන 105 වැනි කඳුරට නිල් මහ සටන, නිස්කලංක කඳුරට පුරවරය ක්‍රිකට් මහතරග උද්දාමයෙන් පුබුදමින්, මාර්තු 15 සහ 16 යන දෙදින අස්ගිරියේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, මහනුවර ත්‍රිත්ව විදුහල සහ ඔවුනගේ අසල්වාසී ප්‍රතිවාදීන් වන ශාන්ත අන්තෝනි විදුහල එකිනෙකා හා සටන්වදිනු ඇත.

තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගම විසින් කඳුරට නිල් මහ සටන මෙන්ම විදුහල් දෙක අතර, සීමිත පන්දුවාර තරගය Dialog Television - ThePapare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවී ලෙසින් නැරඹීමේ අවස්ථාව උදාකර දෙනු ලබයි.

වර්ෂ 1914 සිට මෙම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන්ගේ මුණගැසෙන, ‘ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය’ සඳහා පුරා දෙදිනක් පැවැත්වෙන මෙම මහ ක්‍රිකට් ගැටුමේ මෙවර ත්‍රිත්ව විද්‍යාල පිල මනුල කුලරත්නගේ නායකත්වයෙන්ද, ශාන්ත අන්තෝනි විද්‍යාලය තිසර ඒකනායකගේ නායකත්වයෙන්ද සටන් වදිනු ඇත. දෙපිල අතර මේ දක්වා පැවැති මහ තරග 104 ක ඉතිහාසයේ, ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණ 23 ක් හිමිකරගනිද්දී ශාන්ත අන්තෝනි විදුහල අවස්ථා 11ක ජය වාර්තා කර ඇති අතර තරග 70ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ. ශාන්ත අන්තෝනි පිල අවසන් වරට මහ තරගයක පූර්ණ ජයක් වාර්තා කර ඇත්ත 1992 දී උමේෂ් ද අල්විස්ගේ නායකත්වයෙනි. ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමේ අවසන් පූර්ණ තරග ජයග්‍රහණය 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ වාර්තා විය.

වර්ෂාවෙන් බාධා වූ 2023 මහ තරගයේදී, ප්‍රතිවාදී ශාන්ත අන්තෝනි කණ්ඩායම ලකුණු 110කට සීමාකරමින් ලකුණු 221ක් ලබා පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකරගත් ත්‍රිත්ව විද්‍යාලය මෙම කුසලානේ වත්මන් හිමිකාරීත්වය දරයි.

පාසල් දෙක අතර, රිචඩ් අලුවිහාරේ කුසලානය වෙනුවෙන් 42 වැනි වරට පවත්වනු ලබන වාර්ෂික සීමිත පන්දුවාර තරගය මාර්තු 23 වැනිදා පැවැත්වේ. එම සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ද තරග 19 ක් ජයගත් ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ සිටී. ශාන්ත අන්තෝනි විද්‍යාලය සීමිත පන්දුවාර තරග 17 ක් ජයගෙන ඇති අතර, 41 වැනි වරට පැවැත්වුණු සීමිත පන්දුවාර තරගයද ඇතුළුව තරග හතරක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. එම තරග ඉතිහාසයේ එක් තරගයක් සම ලකුණු සහිතව අවසන්ව ඇත.

මහනුවර ත්‍රිත්ව විදුහල මෙන්ම ශාන්ත අන්තෝනි විදුහල ද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුපිරි තරු රැසක් දායාද කළ පාසල් දෙකකි. කුමාර සංගක්කාර, කෞෂල්‍ය වීරරත්න, සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර, හා මතීෂ පතිරණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හදාරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති. මුත්තයියා මුරලිදරන්, රුවන් කල්පගේ සහ පියල් විජේතුංග ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් පිටියෙන් ක්‍රීඩාව අරඹා ජාතික කණ්ඩායමට ඇතුළත් වූවෝ වෙති.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.