Body

eZ Cash සහ Rakuten Viber සහයෝගීතාවයෙන් මොබයිල් ගනුදෙනු තවත් පහසු කරන eZ cash Viber BOT විශේෂ සේවාව හඳුන්වාදෙයි

Viber හරහා පහසුවෙන් ගෙවීම් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම මුදල් ක්‍රමවේදය හඳුන්වාදෙයි

December 03, 2021         Colombo

 

Rakuten Viber, eZCash

ශ්‍රී ලංකාවේ ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වන eZ Cash, Rakuten Viber සමඟ එක්ව ChatBot හරහා ගෙවීම් සිදුකළ හැකි සුවිශේෂී මොබයිල් ගනුදෙනු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට හඳුන්වා දී තිබේ.

මෙම eZ Cash Viber BOT සේවාව සමඟින්, Viber භාවිත කරන අයට පහසුවෙන් eZ Cash සමඟ register වී තම eZ Cash Wallet එක හරහා මුදල් යැවීම, රීලෝඩ් කිරීම්, බිල්පත් ගෙවීම්, විදුලි සහ ජල බිල්පත් ගෙවීම්, ආයතනික ගෙවීම් ඇතුළු සේවාවන් රැසක් පහසුවෙන් ඉටුකරගැනීමට හැකිවේ. eZ Cash Viber BOT සේවාව සඳහා ලියාපදිංචිවී ඒ හරහා එක් ගනුදෙනුවක් හෝ සිදුකරන පළමු ඩයලොග් පාරිභෝගිකයන් 500 දෙනාට සිය ජංගම දුරකතන සඳහා Anytime Data GB 2 ක් ද හිමිවනු ඇත.

“eZ Cash BOT සේවාව හඳුන්වාදීම මගින් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්නෙ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීමට සැබැවින්ම අවශ්‍ය වන පහසුකම් පිළිබඳව අවධානය යොමු කරමින්, අපගේ සේවාවන් සම්බන්ධයෙන් ඔවුන්ට හොඳම අත්දැකීමක් ලබාගැනීමට පහසුකම් සැලසීමයි.” යනුවෙන් Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC)ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “ගතවූ වසර කිහිපය තුළ සුළු කාලවේලාවක් ඇතුළත විශාල කාර්යභාරයක් ඉටුකරගැනීම සඳහා අපි අපගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලැබුවා. ඒ හරහා පණිවිඩ හුවමාරු කරගැනීමට එහා ගිය සේවාවන් රැසකට අවස්ථා විවර කර දෙන්නට අපට හැකියාව ලැබුණා.Viber හරහා eZ Cash BOT සේවාව භාවිත කරන අයට තම ආදරණීයයන් හා සම්බන්ධ වන අතරතුර සෘජුවම ඔවුන්ගේ මොබයිල් රීලෝඩ්, බිල්පත් ගෙවීම්, මිලදීගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීම් කිරීමට හැකියාව ලැබෙනවා. එපමණක් නොවෙයි, වෙනත් රටවල්වලින් තම eZ Cash Wallet එකට මුදල් ලබාගැනීමේ හැකියාවද හිමිවෙනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ පැවසීය.“පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව හැඩගැහෙන ප්‍රබල සන්නාමයක් වන eZ Cash, Viber App හරහා පාරිභෝගිකයන්ට නූතන ලෝකයට ගැලපෙන ගෙවීම් ක්‍රමයක් හඳුනාදීමට සමත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම මුදල් ගෙවීම් ක්‍රම්වේදය බවට පත්වෙමින්, Viber Rakuten සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා.මෙතැන් සිට අපගේ පාරිභෝගිකයන්ට eZ Cash සහ Viber BOT යන මාධ්‍යයන් දෙකෙහිම උපරිම ආරක්ෂාව සමඟ ඉතා පහසුවෙන් හා සුරක්ෂිතව මුදල් යවන්න, රීලෝඩ් කරන්න, බිල්පත් ගෙවන්න වගේම ඔවුන් මිලදීගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා පහසුවෙන් ගෙවීම් කරන්නත් හැකියාව සැලසෙනවා.”