Body

ඩයලොග්, 2023 ACCA සම්මාන උළෙලේදී තිරසාර වාර්තාකරණය පිළිබඳ විශිෂ්ටත්වයෙන් පිදුම් ලබයි

2024 අප්‍රේල් 02         කොළඹදී

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, 2023 ACCA සම්මාන උළෙලේදී 2023 වසරේ විශිෂ්ටතම තිරසාර වාර්තාකරණය වෙනුවෙන් වන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විණි. ඩයලොග් විසින් අනුගමනය කරනු ලබන තිරසාරත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණ භාවිතයන් උදෙසා ‘සාමාන්‍ය සේවා කාණ්ඩය යටතේ’ මෙම සම්මානය පිරිනැමුණු අතර, එම භාවිතයන් විශිෂ්ටතම අයුරින් පවත්වාගෙන යාමට සමාගම දක්වන අප්‍රතිහත කැපවීමද මෙම සම්මානය මගින් අවධාරණය කෙරිණි.

තිරසර වාර්තාකරණය සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රමුඛයින් බවට පත්කෙරුණු මෙම ACCA සම්මාන උළෙල තුළින් සමාගම් විසින් අනුගමනය කරනු ලබන තිරසාර ක්‍රමවේදයන්හි විශිෂ්ටත්වය අළලා සම්මාන පිරිනැමේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, මෙරට තරගකාරී සමාගම්වල තිරසාර වාර්තාකරණ ප්‍රවේශයන් අභිබවා ඩයලොග් අනුගමනය කරන සුවිශේෂී ප්‍රවේශය මෙම සම්මානය හිමිවීම තුළින් විදහා දැක්වෙන අතර, තිරසාර වාර්තාකරණය සම්බන්ධ වැඩි දියුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා වන සමාගමේ කැපවීමද එමගින් ඇගයේ. එමෙන්ම, විස්තරාත්මක හා ව්‍යුහාත්මක වශයෙන් විශිෂ්ට ඩයලොග් තිරසාර වාර්තාව, තිරසර වාර්තාකරණ කාර්ය සාධනය දැක්වීමේදී සමාගම අනුගමනය කරන විනිවිදභාවය හා සවිස්තරාත්මක හෙළිදරව් කිරීම් පිළිබඳව ප්‍රබල නිදසුනක් ලෙසින්ද දැක්විය හැකිය.

තිරසාර වාර්තාකරණය උදෙසා ඩයලොග් විශිෂ්ටත්වයට පත් කළ හේතු කාරණා, ACCA සම්මාන විනිසුරු මඩුල්ලේ වාර්තාව මගින් දැක්වේ. එම වාර්තාවට අනුව, ඩයලොග් තිරසාර වාර්තාව විස්තරාත්මක අන්තර්ගතයන්ගෙන් හා පැහැදිලි ව්‍යුහයකින් සමන්විතව ඉදිරිපත් කර ඇති අතර, එහි මැනවින් පෙළ ගස්වන ලද ආකෘතිය, පැහැදිලි පූර්ව සූදානම් පදනම, ප්‍රවේශ විය හැකි දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම, පාර්ශවකරුවන්ගේ දායකත්වය සාරාංශගත කිරීම යනාදිය මෙලෙස තිරසාර වාර්තාකරණය අළලා ඩයලොග් විශිෂ්ටත්වයෙන් පිදුම් ලැබීමට මග පෑදූ හේතු කාරණා ලෙසින් අවධාරණය කර තිබේ. එමගින් විදහා දැක්වෙන, පාරිසරික ප්‍රගතිය, බලපෑම් සහගත ප්‍රජා ආයෝජන, සහ තීක්ෂණ අනාගත දැක්ම පිළිබඳව ACCA සම්මාන විනිසුරු මඩුල්ලෙහි ඇගයීමට ලක්ව ඇති අතර, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා කාන්තා නියෝජනය 20% ක ප්‍රතිශතයකින් පවත්වා ගනිමින්, වෙනස්කොට නොසලකන, විවිධත්වයෙන් යුතු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද ප්‍රශංසාවට ලක් කර තිබේ. ඒ හැරුණු විට, ඩයලොග් තිරසාර වාර්තාවට ඇතුළත් කර ඇති, තිරසාර ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩල ප්‍රස්ථාරයෙහි වැදගත්කමද එමගින් ඇගයීමට ලක්කර ඇති තවත් කාරණයකි.

“ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වීම ඩයලොග් අපට ඉමහත් ගෞරවයක්” යනුවෙන්, මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ අදහස් දැක්විය. “මෙම සම්මානය, අපගේ පාර්ශවකරුවන් සමග තිරසාර සංවර්ධනයක් සඳහා වගේම විනිවිදභාවයෙන් යුතු සන්නිවේදනයක් පවත්වා ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළිදරව් කරන සාක්ෂියක්. සියලු දෙනාට තිරසාර අනාගතයක් උදාකිරීමට අප පෙරමුණ ගන්නා බව සහතික කරමින්, එම තිරසරභාවය කැටිකර ගත් මූලික ව්‍යාපාරික ක්‍රමවේදයක් සඳහා අපගේ කැපවීම අගය කරමින් මෙම සම්මානය පිරි නැමුණු බව සඳහන් කළ හැකියි. එපමණක් නොවෙයි, සමාගමේ මෙහෙයුම් හා වාර්තාකරණ ක්‍රමවේදවලට තිරසාර භාවිතයන් ඒකාබද්ධ කිරීමට අප දෙන වැදගත්කම පිළිබඳවත් ඩයලොග් වෙත මෙම සම්මානය හිමි වීමෙන් අවධාරණය කෙරෙනවා.”

ඩයලොග් ආසිආටා සමාගමේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසින් සනිටුහන් තැබෙන මෙම සම්මානය මගින් ඩයලොග් තිරසාර වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට තවදුරටත් සනාථ කෙරේ. වාර්තාකරණයේදී, කොන්දේසි විරහිත අඛණ්ඩතාව සහ සුවිශේෂී කාර්ය සාධනය යන මූලික ගුණාංග පවත්වා ගැනීම සඳහා දක්වන කැපවීම අවධාරණය කරමින්, මෑතදී ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පවත්වන ලද 2023 ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ (TRAC) ඇගයීමෙන්ද, ශ්‍රී ලංකාවේ අංක 1 හිමිකර ගත් විශිෂ්ටතම සමාගම වූයේ, Dialog සමාගමයි. එපමණක් නොව, මොබයිල් සන්නිවේදනය සඳහා ගෝලීය පද්ධතිය (GSMA) සහ තිරසාර ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩල (SASB) ප්‍රමිතීන්ට අනුගත ප්‍රථම දකුණු ආසියානු විදුලි සංදේශ සේවා සම්පාදකයා වන්නේද Dialog සමාගමයි. එම ප්‍රමිතීන්ට අනුගත වන අතරෙහි සමාගම ආයතනික වගකීම හා පාරිසරික භාරකාරිත්වය පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් සඳහාද දායක වෙමින්, විනිවිදභාවය සහ තිරසාර ක්‍රමවේද ඔස්සේ මෙරට සුවිශේෂී සලකුණක් සනිටුහන් කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරයි.