Body

ජාතික ක්‍රීඩාවේ තරුණ ජවය බලගන්වමින් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් 2024 තරගාවලිය මාර්තු 30 වැනිදා ඇරැඹේ

March 28th, 2024         Colombo

 

Dialog Powers President’s Gold Cup Volleyball Tournament 2024

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි, සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස් නාලක මහතා වෙත අනුග්‍රාහක චෙක්පත පිරි නමන ලද අවස්ථාව. ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක (වම්පසින්), ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සාමාජික, ජේ. එන් ප්‍රභාත් ඉන්දික (දකුණුපසින්) යන පිරිස ඡායාරූපයේ දැක්වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් බලගන්වනු ලබන,ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් 2024 තරගාවලිය, මාර්තු 30 වැනිදා බස්නාහිර පළාත් තරගාවලියෙන් ඇරඹීමට නියමිතය. මෙම තරගාවලිය ඩයලොග් විසින් බලගන්වනු ලබන 14 වැනි වසර මෙය වෙන අතර මෙම තරඟාවලිය මව්බිමේ පළාත් නමයම ආවරණය වන පරිදී කණ්ඩායම් 2500 කට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පළාත් මට්ටම, ජාතික මට්ටම සහ අවසන් මහා තරගාවලිය ලෙසින් අදියර තුනකින් යුතුව පැවැත්වීමට නියමිත මෙහි අදාළ බස්නාහිර පළාත් තරගාවලිය මාර්තු 30 සහ 31 දෙදින හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී පළාත් තරගාවලිය අවසන් කිරීමට සැලසුම් වී තිබේ. 2024 ජුනි සහ ජුලි මාසවලදී ජාතික තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත. මෙම වසර අවසානයේදී ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබේ.

මෙවර මෙම තරගාවලිය වයස අවුරුදු 25න් අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියක් බවට පත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනුව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාතික මට්ටමේ තරගාවලියක අවශ්‍යතාව මෙයින් සපිරෙන අතර ජාතික කණ්ඩායම සඳහා ජවාධික තරුණ ක්‍රීඩකයන් හඳුනාගැනීම පිණිසද මෙය උපකාරී වනු ඇත.

“වයස අවුරුදු25න් පහළ වයසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනු ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන පිරිසක්. එවැනි වයසේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි තරගාවලියක් පැවැත්වීම මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ අනාගතය උදෙසා වටිනා ආයෝජනයක් වනවා. රටේ ක්‍රීඩාව නැංවීම උදෙසා නිරන්තරයෙන් කැපවන ඩයලොග් ජාතික ක්‍රීඩාවත් සමග දශක දෙකක පමණ කාලයක් මෙලෙස රැඳී සිටීම ගැන අපි ඔවුනට වොලිබෝල් පවුලේ ස්තුතිය පිරිනමනවා වගේම අපේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ලබාදුන් ශක්තියත් මේ මොහොතේ කෘතඥපූර්වකව සිහිපත් කරනවා” යැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා මෙම තරගාවලිය සම්බන්ධයෙන් පවසා සිටියේය.

“මෙරට ක්‍රීඩාව වෙනුවෙන් ඩයලොග් හී කැපවීම තවදුරටත් සනාථ කරවන අතරවාරයේ මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය තරුණ ජවය වෙනුවෙන් මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ඔස්සේ වේදිකාවක් සැකසීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වනවා. ජාතික ක්‍රීඩාව හා ඩයලොග් අතර මේ සබැඳියාව ඔස්සේ පන්නරය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව බබලවනු දැකීම අපගේ අපේක්ෂාවයි” යැයි ඩයලොග් ආසිආටා හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.