Body

ඉහළම ජනතා ප්‍රසාදයෙන් වසරේ සන්නිවේදන සන්නාමය ලෙස ඩයලොග් කිරුළු පැළඳි වගයි

2023 මාර්තු 29         කොළඹදී

 

Dialog as the Telecommunication Brand of the Year

2023 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 12 වැනි වරටත් ‘වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස ජනතා ප්‍රසාදයෙන් අභිසෙස් ලබන්නට ඩයලොග් සමාගම සමත් විය.ශ්‍රී ලාංකීය ජන ජීවිතවල සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම හඳුනාගනිමින් ඇගයෙන ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙල තුළින් ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි.

මෙලෙස අඛණ්ඩව 12 වැනි වරටත් 'වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස ජනතා සම්මානයට පාත්‍රවීම හරහා ශ්‍රී ලාංකීය ජන ජීවිත හා ව්‍යාපාර සවිබලගන්වමින්, රටේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින්, රට ඩිජිටල්කරණයෙන් බලගැන්වීමට ඩයලොග් සමාගම දක්වන අප්‍රතිහත කැපවීම යළිත් වරක් තහවුරු වෙයි.

ස්ලිම් - කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී ඩයලොග් අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර,“පුරා වසර 12 ක් තිස්සේ අඛණ්ඩව ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස අභිසෙස් ලබන්නට හැකිවීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. ලාංකීය ජනතාවගේ ජීවිතවලට යහපත් වෙනසක් ඇති කරමින්, සදා නොමැකෙන අර්ථවත් සබැඳියාවක් සලසාදීමට හැකිවීම විශාල ගෞරවයක් වශයෙන් අපි සලකනවා. 'අනාගතය අදයි' යන අපගේ සන්නාමයේ තේමාව සැබෑ ලෙසම අරුත් ගන්වමින්, අපගේ පාරිභෝගිකයන්ට නිබඳවම විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් වන අපේ අසීමිත කැපවීමට මේ සම්මානය කදිම සාක්ෂියක්. තම ප්‍රියතම සන්නිවේදන සේවා සම්පාදකයා වශයෙන් අපව තෝරාගනිමින් අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි දැක්වූ විශ්වාසය සහ හිතෛෂීභාවය වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.”

ස්ලිම් - කැන්ටාර් ජනතා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 17 වැනි වරට වන අතර, මෙරට අලෙවිකරණය සඳහා වන ජාතික ආයතන වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම උළෙල සංවිධාන කරනු ලැබීය. විවිධ අංශ ඔස්සේ ජනතා මනාපයෙන් පිරිනැමෙන මෙම සම්මාන වෙනුවෙන් දීපව්‍යාප්ත මට්ටමින් සමීක්ෂණයක් සිදු කරනු ලබයි. වයස අවුරුදු 15ත් 60ත් අතර පිරිමි හා කාන්තා දෙපාර්ශ්වයම මෙම සමීක්ෂණය සඳහා සහභාගිකර ගැනෙන අතර, මාස 5ක කාලයක් පුරා සිදුකෙරෙන එම ක්‍රියාවලියේදී ව්‍යුහගත ප්‍රශ්නාවලියක් සමීක්ෂණයට දායකවන පිරිස් වෙත ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් සතන්හි රැඳි ඔවුන්ගේ හද බැඳගත් සන්නාම හා පුද්ගල චරිත මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.