Body

ජාතික කනිශ්ඨ නෙට්බෝල් තරගාවලිය 2023 ඩයලොග් විසින් බලගන්වයි

2024 පෙබරවාරි 15         කොළඹදී

 

Dialog Powers Junior National Netball Championship 2023

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි, සන්නාම හා මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා විසින් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මී මහත්මිය වෙත අනුග්‍රාහක චෙක්පත පිරි නමන ලද අවස්ථාව. ඩයලොග් ආසිආටා පී.එල්.සී හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී මොහොමඩ් ගසාලි (වම්පසින්), ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ භාණ්ඩාගාරික, පද්මිණී හොරණගේ (දකුණුපසින්) සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ කමිටු සාමාජිකා චම්පා ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි දැක්වෙති.

ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පෝෂණය කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සවිබල ගැන්වීම උදෙසා නිරතුරුවම කැපවන ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙවර පැවැත්වෙන ඩයලොග් ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ තෙවැනි අදියර සඳහා සාඩම්බර අනුග්‍රාහකත්වය පිරිනමනු ලබයි. නෙට්බෝල් ක්ෂේත්‍රය මෑත කාලීනව ජාත්‍යන්තර ජයග්‍රහණ මත ගොඩනැගෙන පසුබිමක මෙම ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය පිරිනමමින්, මෙරට නෙට්බෝල් පිටිය බබලවන දක්ෂතා පිරිපුන් අනාගත තරු රැසක් දායාද කිරීමට සහය වීමේ සිය නොසැලෙන කැපවීම ඩයලොග් විසින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය පෙබරවාරි 17 සහ 18 දෙදින කොළඹ ඩී.එස්. සේනානායක පිටියේදී පැවැත්වීමට යෙදී ඇති අතර එහි අවසන් පූර්ව සහ අවසන් මහා තරග 18 වැනිදාට යෙදී තිබේ. මෙම ඩයලොග් ජාතික කනිශ්ඨ නෙට්බෝල් ශූරතා 2023 තරගාවලිය, දිවයින පුරා සිටින වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩිකාවන් ඉලක්ක කරගනිමින්, ඔවුනගේ දක්ෂතා හඳුනාගෙන ක්‍රීඩාවේ මීළඟ තලයට රැගෙන යෑම පිණිස පුහුණුව ලබාදීමට අවකාශ සැලසෙන සේ වාර්ෂිකව පවත්වන්නකි. එළැඹෙන ආසියානු යොවුන් ශූරතාව සහ 2025 ලෝක කුසලානට සහභාගීවන ක්‍රීඩිකාවන් තෝරාගැනීමේදී මෙම තරගාවලිය අතිශයින් වැදගත් භුමිකාවක් ඉටුකරනු ලබයි.

ජාතික නෙට්බෝල් තරගාවලිය බලගැන්වීම පිණිස වූ සිය කැපවීමේ තවත් කොටසක් ලෙසින් ඩයලොග් විසින් මෙහි අවසන් පූර්ව සහ අවසන් මහා තරග 18 වැනි ඉරිදා පස්වරු 12සිට thepapare.com ඔස්සේ විකාශය කිරීමට නියමිත අතර, එයට අමතරව අදාළ අවසන් මහා තරගය එදින පස්වරු 4.30 සිට Dialog Television චැනල් අංක 63 ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

“කනිශ්ඨ ක්‍රීඩිකාවන් හඳුනාගනිමින් ඔවුන්ව ජාතික කණ්ඩායමට තෝරාගැනීම වෙනුවෙන් පැවැති අවසන් තේරීම් කටයුත්තේ සිට ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන ශීඝ්‍ර වර්ධනයක් දිස්වනවා” පවසන නෙට්බෝල් සම්මේලනයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මී මහත්මිය ‘‘ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයට මෙන්ම එහි ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දැක්වීම පිණිස ලබාදෙන නිරන්තර සහය වෙනුවෙන් මම ඩයලොග් වෙත මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි” යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියි.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සන්නාම සහ මාධ්‍ය උපසභාපති හර්ෂ සමරනායක මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ‘‘ජාතික කනිශ්ඨ‍ නෙට්බෝල් ශූරතාව තුන්වැනි වසරටත් බලගන්වමින්, ක්‍රීඩාවෙන් කාන්තාවන් සවිබලගැන්වීමට සහ නැගී එන දක්ෂතා පෝෂණය කිරීම පිණිස අපගේ අඛණ්ඩ කැපවීම පෙරට රැගෙන යෑමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙවා. මෙම 2023 ජාතික කනිශ්ඨ තරගාවලිය ඉතා තීරණාත්මක කුසලතා හඳුනාගැනීමේ වේදිකාවක් ලෙසින් පමණක් නොවෙයි, මෙරට කාන්තා ක්‍රීඩාවේ වර්ධනය සඳහා ඩයලොග් හි කැපවීමද ශක්තිමත් කරනවා. ඉතා තියුණු තරගාවලියක් දැක බලාගැනීමට මෙන්ම ජාතික මට්ටමින් නෙට්බෝල් ක්‍රීඩාවේ ප්‍රගමනයක් දැකීමටද අප බලාපොරොත්තුවනවා” යැයි පවසන ලදි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.