Body

ඩයලොග් 19 වැනි වරටත් ඓතිහාසික නිල්මහ සටන බලගන්වයි

2024 පෙබරවාරි 21         කොළඹදී

 

Dialog Powers Junior National Netball Championship 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, මෙරට දීර්ඝතම ඉතිහාසයක් සහිත ‘නිල් මහා සටන’ මහා ක්‍රිකට් සංග්‍රාමය සඳහා 19 වැනි වසරටත් නිල අනුග්‍රාහකත්වය පිරිනමයි. දිවංගත ගරු ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ වෙනුවෙන් කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සටන් වදින මෙම තරගය මාර්තු 7, 8 සහ 9 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

145 වැනි ක්‍රිකට් තරගය, Dialog Television - ThePapare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවීව විකාශය කෙරේ. විදුහල් දෙක අතර ‘Mustangs කුසලානය’ වෙනුවෙන් වන සීමිත පන්දුවාර තරගය මාර්තු 16 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව පුරාම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ මෙහෙවරට උර දී සිටින ඩයලොග්, මෙම තරගයේදී බිඳ වැටෙන සෑම කඩුල්ලක් වෙනුවෙන්ම රු 10000 ක මුදලක් හා රැස් කරන සෑම ලකුණක් වෙනුවෙන්ම රු. 1000 ක් වෙන් කිරීමට සඳහා ප්‍රතිඥා දෙමින් 'Play for a Cause' වැඩසටහනද ආරම්භ කළ අතර, ඉකුත් වසරේ ඒ වෙනුවෙන් රු. 1,128,000 ක මුදලක් පිරිනමනු ලැබිණි. එම මුදල, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සහ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිතුමන්ගේ උපදෙස් අනුව, සුදුසුම පාසල් 4 ක් සඳහා පරිත්‍යාග කෙරිණි.

මෙවර තරගයේදී, ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම මහිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, රීඩ් මාවතේ රාජකීය කණ්ඩායම තරගයට අවතීර්ණ වන්නේ, 19 න් පහළ කඩුළු රකින ක්‍රීඩක සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුවය.

වසර 144 ක වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියන රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය, දිර්ඝතම කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පැවැත්වෙන, ලොව දෙවැනි ක්‍රිකට් තරගාවලියයි. එය දෙවැනි වන්නේ, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි St. Peters හා Prince Alfred යන විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට පමණි. ඒ, රාජකිය හා ශාන්ත තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙන් ඉහත තරගාවලිය ආරම්භ වී ඇති බැවිනි. කණ්ඩායම් දෙක අතර රෝයල්- ශාන්ත තෝමස් ක්‍රිකට් එදිරිවාදිකම ලෝකයට ප්‍රසිද්ධව ඇත්තේ, ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර කීර්තිමත් අළු බඳුන තරගාවලියටත් පෙර සිටය.

1880 වසරේදී, ගාලු මුවදොර පිටියේ දැන් ටාජ් සමුද්‍රා හෝටලය පිහිටා ඇති ස්ථානයේ පැවැත්වූණු තරගයකින් මෙම සාම්ප්‍රදායික තරගාවලියේ ආරම්භය සනිටුහන් විණි. මෙම තරගයේ තරග වැදීම සඳහා කණ්ඩායම් දෙකටම බෝට්ටුවලින් බේරේ වැව තරණය කිරීමටද සිදු වූණු බවද වාර්තාවල සඳහන් වේ.

විදුහල් දෙක අතර ක්‍රිකට් පිටියෙහි ඓතිහාසික එදිරිවාදිකම් මතුවන වාර්ෂික ක්‍රිකට් තරගය, ක්‍රීඩාශීලීත්වය සහ සහෝදරත්වය කැටි වුණු චිරස්ථායී මානුෂීය ගුණාංග විදහා දක්වන අතරෙහි, සියවසකට අධික කාලයක් මුළුල්ලේ විදුහල් දෙක අතර විශිෂ්ටත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරන සංකේතයක් ද වෙයි.

රාජකීය-ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගයෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර, පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. නිදහසින් පසු ලංකාවේ අගමැතිවරුන් වූ, දිවංගත ගරු ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ පිරිනමමින් සිහිපත් කරන මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමා සහ ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමා ශා. තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා හා ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජකීය විදුහල නියෝජනය කරමින්ද කලෙක මෙම ඓතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ.

නිල් මහ සටන් ඉතිහාසයේ මේ දක්වා, මහත් ආන්දෝලනයට ලක්වූ 1885 තරගයත් සමගින්, පාසල් දෙක අතර ක්‍රිකට් තරගයෙන්, රාජකීය විදුහල ජයග්‍රහණ 36ක් සමඟින් ඉදිරියෙන් සිටින අතර, ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණ 35ක් ලබාගෙන තිබේ. 1885 ආන්දෝලනාත්මක තරගයේදී, රාජකීය විද්‍යාලය ලකුණු 9කට දැවී ගිය අතර, දෙවැනි දිනයේ ක්‍රීඩා කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ශාන්ත තෝමස් කණ්ඩායම ජයග්‍රහණයක් වශයෙන් සැලකූ එම තරගය (පාසල් දෙකේ සමරු පොත්වල දැක්වෙන අන්දමට) රාජකීයයන්ට නම් ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයකි. ඉකුත් 144 වැනි නිල් මහ සටනේදී, රාජකීයයෝ වාර්තාගත ලකුණු 181 ක් ලබා ගනිමින් 2016 වසරෙන් පසුව සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ. ඒ, දසිස් මංචනායකගේ නායකත්වයෙන් යුතුවය. එහිදී විශිෂ්ටතම සටනකට අවතීර්ණ වෙමින් රාජකීයයන් දිනාගත් එම පලිහ, ඔවුන්ගේ කුසලාන බහාලන කැබිනෙට්ටුවෙහි, මහාර්ඝ මාණික්‍යයක් බඳුව ප්‍රදර්ශනයට තබා තිබේ.

විශිෂ්ටත්වයෙන් ඉහළම සම්ප්‍රදාය සුරකිමින් පැවැත්වෙන මෙම තරගයේදී, සියවස් එකහමාරකට අධික කාලයක පටන්ම, විදුහල් දෙක අතර අන්‍යොන්‍ය ගෞරවය, ක්‍රීඩාශීලීත්වය මෙන්ම, පිටිය තුළ හා පිටියෙන් එපිට මිත්‍රශීලි ප්‍රතිවාදීන් ලෙසින් වූ බැඳීම පවත්වා ගැනීමට සමත්ව තිබේ. “ශාන්ත තෝමස් විදුහල නොමැතිව රාජකීය විදුහලක් නැත, රාජකීය විදුහල නොමැතිව ශාන්ත තෝමස් විදුහලක් නැත” යනුවෙන් ඉකුත් වසරක රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිවරයකු විසින් කරන ලද ප්‍රකාශයෙන්ද ඒ බව මනාව පැහැදිලි වේ.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.