Body

හෙට දිනයේ ශූරයන් බලගන්වමින් ‘Dialog Big Match Season‘ දියත් වෙයි

February 29th, 2024         Colombo

 

“Dialog Big Match Season” launched to Power Champions of Tomorrow

ඉදිරිපස පේළිය: පාසල් ක්‍රිකට් කණ්ඩායම් නායකයින් හා අදාළ පාසල් නියෝජනය කරන පිරිස දෙවැනි පේළිය: (වමේ සිට දකුණට) අදාළ පාසල්වල, ගුරු ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් , විදුහල්පති පියතුමන් සහ නියෝජ්‍ය විදුහල්පති පියතුමන් ඩයලොග් නිලධාරීන් සමඟ

දක්ෂතා පෝෂණය කිරීමට කැපවෙමින් සහ ශූරයන් බලගන්වමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ‘2024 Dialog Big Match Season’ දියත් කරයි. මෙම ප්‍රයත්නයේ මූලික අරමුණ වනුයේ, අනාගත ක්‍රිකට් තරුවල තිඹිරිගෙය බවට පත්වන පාසල් ක්‍රිකට් පිටිය ඔස්සේ ජාතික සහ ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන දක්ෂතා විදහා දැක්වීම සඳහා අවශ්‍ය වේදිකාව සකසාදීමය.

මාර්තු මාසය, ශ්‍රී ලංකාවේ පාසල්වල ආදි සිසුන් මෙන්ම වත්මන් සිසුන්ද එකාවන්ව එක්වී, ජාතියේ විලාසිතාවක් බවට පත්වන ක්‍රිකට් රසය විඳින උද්වේගතර මාසය බවට පත්වනු ඇත. මෙම මහ තරග වාරයේදී, ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් දක්ෂතාව, අධිෂ්ඨානශීලීත්වය මෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ පොහොසත් සම්ප්‍රදායන්ගෙන් සපිරි පාසල් 14ක් ආවරණය වන පරිදි ප්‍රධාන පෙලේ පාසල් බිග් මැච් තරඟාවලි 7ක් වෙනුවෙන් සිය සාඩම්බර අනුග්‍රහය පුදකරයි. “මේ ‘මහ තරග සමය’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ කැපී පෙනෙන අංගයක්. අපගේ රට නියොජනය කිරීමට නියමිත අනාගත ක්‍රිකට් ශූරයන් පෝෂණය කරන මේ සුවිශේෂී ක්‍රිකට් සැමරුම වෙනුවන් සහය දැක්වීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා.” යනුවෙන් ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය. “සතුට පිරුණු තරගවාරයක් වෙනුවෙන් මම සියලුම කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙත මගේ සුබපැතුම් එක්කරනවා” යැයි ඔහු මේ වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

මාර්තු 7 වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ලොව දෙවැනි දීර්ඝතම මහ තරගය වන 145 වැනි ‘නිල් මහ සටන’ සඳහා අභිමානවත් 19 වැනි වසරටද ඩයලොග් ආසිආටා පී.එල්.සී අනුග්‍රහය හිමිවේ. එසේම කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර 90 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වෙනුවෙන්ද ඩයලොග් සමාගම සිය සහය පිරිනමයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් අතර පැවැත්වෙන මෙම සටන මාර්තු 22 සහ 23 යන දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට යෙදී තිබේ. සිය සහයෝගශීලීත්වය උතුරු පළාත දක්වාද විහිදුවමින්, ඩයලොග් ආසිආටා පී.එල්.සී, මුල් පෙළේ මහ තරග දෙකක් වෙනුවෙන් තම අනුග්‍රහය පිරිමන අතර, ඒ අනුව යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර 117 වැනි ‘උතුරු මහා සටන’ මෙන්ම ශාන්ත පැට්‍රික් විද්‍යාලය සහ යාපන විද්‍යාලය අතර ‘උතුරු රන් මහා සටන’ වෙත අදාළ අනුග්‍රාහකත්වයන් හිමිවේ. මෙම ‘උතුරු සටන’ මාර්තු 7, 8 සහ 9 යන දිනවල යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාගංණයේද, ‘උතුරු රන් මහා සටන’ මාර්තු 1සහ 2 යන දිනයන්හිදී ශාන්ත පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

මහනුවර කඳුයායන් ජයගොසින් ගිගුම්දෙවන යාබද පාසල් වන ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මාර්තු 15 සහ 16 වැනි දිනවල පවත්වනු ලබන 105 වැනි ‘උඩරට නිල් මහ සටන’ ද ඩයලොග් විසින් බලගන්වනු ලබයි. එසේම බස්නාහිර පළාතේ පැවැත්වෙන තවත් ‘රන් මහා සටන්’ දෙකක් වෙනුවෙන්ද ඩයලොග් ආසිආටා පී.එල්.සී සහය හිමිවන අතර ඒවා නම් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලත් මොරටුව වේල්ස් කුමර විදුහලත් අතර සටන සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලත් මොරටු විද්‍යාලය අතර සටන වේ. අදාළ 74 වැනි මොරටු රන් සටන මාර්තු 8 සහ 9 වැනිදා පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර 72වැනි රන් සටන මාර්තු 29 සහ 30 වැනිදා මොරටුව දි සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම කීර්තිමත් පාසල් බිග් මැච් තරඟාවලි අනාගත ක්‍රිකට් තරු බිහිවීමේ පදනම බවට පත්වනු ඇත. මෙකී උද්වේගතර ගමන ඇරඹුමේ, එම සියලු කණ්ඩායම් වෙත ඩයලොග් ආසිආටා සිය සුබපැතුම් පිරිනමමින් සුපිරි තරගයක් සහ සාර්ථකත්වය සටහන් වන ගමනක් අපේක්ෂා අපේක්ෂා කරයි.

ප්‍රේක්ෂකයන් හට ඩයලොග් ටෙලිවිෂන් හී නාලිකා අංක 126 න් ThePapare TV ඔස්සේ High Definition ලෙසින් සහ ThePapare.com හෝ Dialog ViU app ඔස්සේ මෙම තරග උණුසුම සජීවීව නැරඹිය හැක.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.