Body

90 වැනි ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් සවිබලය

2024 මාර්තු 12         කොළඹදී

 

Dr. Hans Wijayasuriya Receives GSMA Chairman's Award

ඡායාරූප විස්තරය- (වමේ සිට දකුණට) ශා.ජෝසප් විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති ටෙරන්ස් ප්‍රනාන්දු මහතා, ශා.ජෝසප් විදුහලේ ක්‍රීඩාභාර ආචාර්ය ගරු ප්‍රියාන් තිසේරා පියතුමා, ශා.ජෝසප් විදුහලේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, ශා.පීතර විදුහලේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගු පියතුමා, ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා සම්බන්ධීකාරක මිලාන් බර්නාඩ් පියතුමා සහ ශා. පීතර විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති මයිකල් ඉලායස් යන පිරිස ඡායාරූපයේ දැක්වෙති.

අනාගත ක්‍රීඩා තරු පෝෂණය කිරීමටත් හෙට දවසේ ශූරයින් සවිබල ගැන්වීමටත් සිය නොසැලෙන කැපවීම මැනවින් විදහා පාන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම මේ වසරේදීත් ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල් අතර පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි. ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත ජෝෂප් විද්‍යාලය කොළඹ නගර සීමාව ඇතුළත පිහිටි ගෞරවනීය කතෝලික පාසල් දෙකකි. මෙම පාසල් අතර 90 වැනි වරටත් පැවැත්වෙන දෙදින තරගය දිගු කලක සිටම ‘ශාන්තුවරයන්ගේ සටන’ ලෙසින් හැඳින්වේ.

‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් තරග වදින ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත ජෝෂප් විද්‍යාල අතර සටන මාර්තු මස 22 සහ 23 දිනයන්හි කොළඹ එස්.එස්.සී. පිටියේදී මහත් උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වෙයි.

තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගම විසින් 90 වැනි ශාන්තුවරයන්ගේ සටන පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගය මාර්තු මස 22 සහ 23, මෙන්ම විදුහල් දෙක අතර, 50 වන සීමිත පන්දුවාර තරගය අප්‍රේල් 6 වැනිදා Dialog Television - ThePapare TV HD (නාලිකා අංක 126) ඔස්සේ මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවී ලෙසින් නැරඹීමේ අවස්ථාව පාසල් දෙකෙහිම ආදි සිසුන්ට මෙන්ම සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්ටත් උදාකර දෙයි.

මෙරට පාසල් මහා ක්‍රිකට් තරග අතර විශේෂ ආවේණික බවක් සහිත 'සාන්තුවරයන්ගේ සටන' වැඩි උද්‍යෝගයක් සහ විසඳුමක් සහිත තරග අවසානයක් කරා රැගෙන යෑම පිණිස දෙපිළේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමාවන අතර, එවැනි උපාය මාර්ගික සීමාකිරීමක් සහිත මෙරට එකම දෙදින වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙය වේ. මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම පස්වැනි වසරේ වර්ණලාභියකු වන ලහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබයි. අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන විෂේන් හැලඹගේ විසින් මෙහෙයවනු ලබයි.

“ශාන්තුවරයන්ගේ සටන හෙවත් ජෝ - පීට් තරගය, ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් දින දර්ශනයේ කැපී පෙනෙන තරගයක්. 90 වැනි වරටත් පැවත්වෙන මෙම ඓතිහාසික තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් විසින් පෙන්වනු ලබන තරගකාරීත්වය, ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය සම්ප්‍රදායයන් ආරක්‍ෂා කරගනිමින් දිගහැරෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සඳහා අපගේ දිගුකාලීන සහකරුවා වන ඩයලොග් ආසිආටා සමාගමට (Dialog Axiata PLC) මෙන්ම ඔවුන්ගේ නොසැලෙන සහය වෙනුවෙන් මගේ හෘදයංගම කෘතඥතාව පුද කරනවා” යයි ශාන්ත පීතර විද්‍යාලයේ විද්‍යාලාධිපති, ගරු රෝහිත රොද්‍රිගූ පියතුමා ප්‍රකාශ කළේය.

ශාන්ත පීතර විද්‍යාලාධිපතිතුමන්ගේ වදන්ම ප්‍රතිරාව කරමින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අදියුරු පියතුමන් වන ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් ප්‍රකාශ කළේ ‘ශාන්තුවරයන්ගේ සටන’සම්භාවනීය කතෝලික අධ්‍යාපන ආයතන දෙකක් වන ශාන්ත පීතර විද්‍යාලයත් ශාන්ත ජෝශප් විද්‍යාලයත් අතර පැවැත්වෙන උත්කර්ෂවත් උත්සවයක් බවයි. ශාන්තුවරයන්ගේ සටනට පොහොසත් ඉතිහාසයක් තියෙනවා. මෙවර තරගයේ දින දෙකක් පුරා කණ්ඩායම් දෙකම, තරුණ හා මහලු පීතරයන්ගේ මෙන්ම ජොසපියානුවන්ගේත් සිත් ඇදගන්නා සුළු උද්යෝගිමත් ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වෙමින්, අතීතයේ සිට පැවතෙන ගෞරවනීය සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරනු ඇතැයි මට විශ්වාසයි. ඒ සඳහා පාසල් දෙකේම ක්‍රීඩකයන්ට මෙන්ම ඔවුන්ගේ නායකයින්ට මගේ ශුභාශිංසන පිරිනමනවා” යයි ද ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා ප්‍රකාශ කළේය.

“මහ ක්‍රිකට් තරග පැවැත්වෙන මාර්තු මාසය ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මක මාසයකි. ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට සූදානම් වන අනාගත ශූරයන් පෝෂණය කෙරෙනුයේ මෙම සුවිශේෂී ක්‍රිකට් සංදර්ශන වලින්. ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය අඛණ්ඩවම ලබා දීමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා” යයි ඩයලොග් ආසිආටා සමාගමේ (Dialog Axiata PLC) හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය. විශිෂ්ට මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් කෙරෙන මාසයක් සඳහා සියලුම කණ්ඩායම් සහ ක්‍රීඩකයින්ට මම මගේ හෘදයාංගම ශුභාසිංසන පිරිනමනවා” යයි ද ලසන්ත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කීවේය.

දෙපිල අතර මේ දක්වා පැවැති මහ තරග 89 දී ශාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12 ක් සමඟින් පෙරමුණ ගෙන සිටී. ඔවුන්ගේ අවසන් ජයග්‍රහණය වාර්තා වූයේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙනි. මහ තරග 10 ක් ජයගෙන සිටින ශාන්ත පීතර විද්‍යාලය අවසන් වරට මහ තරගය ජයගත්තේ 2016 දීය. ඒ විනු මොහොට්ටිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරමිනි. අවසන් වරට ජයග්‍රහණය ලබාගත් ශාන්ත පීතර විද්‍යාලය සතුව ගරු ‘මෝරිස් ජේ.ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’තවදුරටත් පවතී. දෙපිල අතර පවතින එකිනෙකා පරයන තරගකාරිත්වය හේතුවෙන් මහ ක්‍රිකට් තරග 67 ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

මෙරට පාසල් ඉතිහාසයේ පළමු සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය ලෙසින් 1975 වසරේදී ආරම්භ වූ පීටර්. ඒ. පිල්ලේ පියතුමන්’ අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ‘ජොසප් -පීතර’ පන්දුවාර 50 ක්‍රිකට් තරගය සැමවිටම පාසල් එක්දින තරගයක් සඳහා ආකර්ෂණය වූ ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවට හිමිකම් කියා ඇති අතර, මෙවර පැවැත්වෙන්නේ 50 වැනි වරටය. ශ්‍රී ලංකාවේ පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර තරගයක් එහි 50 වැන්න පසුකරන්නේ පළමු වැනි වතාවටය. මෙම තරගය අප්‍රේල් 6 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.සීමිත ඕවර තරග ඉතිහාසයේදීත් තරග 25 ක් ජයගත් ශාන්ත ජෝෂප් විද්‍යාලය ඉදිරියෙන් සිටී. ශාන්ත පීතර විද්‍යාලය සීමිත ඕවර තරග 21 ක් ජයගෙන ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය. පසුගිය වසරේදී පැවැති සීමිත ඕවර තරගයේදී ඉතාමත් තියුණු තරගයකින් පසුව ජයගැනීමට ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ශාන්ත ජෝෂප් විදුහල මෙන්ම ශාන්ත පීතර විදුහල ද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුපිරි තරු රැසක් දායාද කළ පාසල් දෙකකි. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සධීර සමරවික්‍රම ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ක්‍රිකට් සිප් සතර හදාරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති. රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත ශාන්ත පීතර විදුහල් ක්‍රිකට් පිටියෙන් ක්‍රීඩාව අරඹා ජාතික කණ්ඩායමට ඇතුළත් වූවෝ වෙති.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් මෙන්ම ඊ-ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හි සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට කටයුතු කරනු ලබයි.