Body

ඩයලොග්, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වගකීමෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ‘e-Kunu’ ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දියත් කරයි

2024 ජනවාරි 01 වැනිදා         (කොළඹදී)

 

Dialog MAS Enabler Programme

ඡායාරූපය වමේ සිට දකුණට: Cleantech පුද්ගලික සමාගමේ සන්නාම හා සන්නිවේදන ප්‍රධානි විපුල ගුණරත්න, Cleantech පුද්ගලික සමාගමේ පරිසර හා තිරසාරත්ව කළමනාකාර සෙව් පෙස්ටොන්ජී, Cleantech පුද්ගලික සමාගමේ චක්‍රලේඛ ආර්ථික සේවා, ජ්‍යෙෂ්ඨ කළමනාකාර කසුන් තෙන්නකෝන්, Cleantech පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුඛිත නානායක්කාර, ඩයලොග් ආසිආටා පී. එල්. සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා පී. එල්. සී හි සමාජ නවෝත්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකාර අසිත් ද සිල්වා, ඩයලොග් ආසිආටා පී. එල්. සී සමාගමේ තිරසාරත්ව ක්‍රියාත්මක කිරීමේ විශේෂඥ අශිනි පොතුපිටිය, විධායක තිරසාරත්ව සහ CSR මෙහෙයුම් ඉංජිනේරු අකිල ලක්ශාන් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ දැක්වෙති.

ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීමේ අරමුණින් යුතුව, දීප ව්‍යාප්ත e- Kunu ව්‍යාපෘතිය දියත් කර තිබේ. සමාගමේ සමාජ සත්කාරක මුලපිරීමක් ලෙසින් ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය තුළින්, දිවයින පුරා පිහිටි ඩයලොග් Experience Centers මගින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කර ඒවා නිසි පරිදි ප්‍රතිචක්‍රිකරණය කිරීම සිදු කෙරේ.

2008 වසරේදී ඇරඹී පසුව, 2014 දී ජාතික ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වැඩසටහනේද කොටසක් ලෙසින් සාර්ථකව ක්‍රියාවට නැංවුණු ‘mWaste’, ඩයලොග් ආරම්භ කළ පුරෝගාමී වැඩසටහනකි. එම වැඩසටහන අත්පත් කරගත් සාර්ථකත්වය, දිවයින පුරා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ලක් කෙරෙන මෙම වැඩසටහන සඳහාද මග පාදා තිබෙන අතර, විශාල පරාසයක ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මෙම e-Kunu ව්‍යාපෘතිය හරහා එක්රැස් කෙරේ. ඒ අනුව, එක්රැස් කෙරෙන අපද්‍රව්‍ය අතරට ජංගම දුරකතන සහ ලැප්ටොප්වල පටන්, චාජර්, බැටරි, මුද්‍රණ යන්ත්‍ර සහ තවත් බොහෝ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇතුළත් වේ. මෙහිදී මෙම අපද්‍රව්‍ය එක් රැස් කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම මධ්‍යම පරිසර අධිකාරිය (CEA) මගින් නියාමනය කරනු ලබන දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සිදු කරන අතර, රටවල් අතර දේශසීමා හරහා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගෙන යාමද, ඒවා බැහැර කිරීමද බාසල් සම්මුතියට අනුකූලව සිදු කෙරේ.

මෙලෙස, ශ්‍රී ලංකාවේ වගකීමක් සහිත ආයතනයක් ලෙස ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වගකීමෙන් ප්‍රතිචක්‍රීකරණය කරමින්, තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ප්‍රවර්ධනය කරමින්, පරිසරය සුරැකීම වෙනුවෙන් ඩයලොග් දක්වන කැපවීම මෙම ව්‍යාපෘතිය මගින්ද පිළිබිඹු කෙරෙන අතර මෙය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 13 (SDG 13): දේශගුණික ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ගනු ලැබූ තවත් එක් පියවරකි. සමාගම, 2021 අත්කර ගත් ISO 14001 පරිසර ප්‍රමිතීන්ට අනුකූලව, සිය පාරිසරික වගකීම් ඉටුකිරීම සඳහා මෙලෙස පියවර ගනු ලබන්නේ, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමේ අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කර, ඒවා වගකීමෙන් යුතුව ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඔවුන් දිරිමත් කිරීම මගිනි.

එමෙන්ම, මෙම ව්‍යාපෘතිය සාමූහික ප්‍රයත්නයක් ලෙසින් පාරිභෝගිකයින්ගේ, ආයතනික කාර්ය මණ්ඩලයේ මෙන්ම, මහජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වයෙන් යුතුව පරිසරය පිළිබඳ දැනුවත් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණින් දියත් කෙරෙන්නකි. එම අරමුණ මල්ඵල ගන්වමින්, තිරසාර අනාගතයක් බිහි කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වගකීමෙන් කළමනාකරණයට මෙරට අනෙකුත් සමාගම් සඳහාද පූර්වාදර්ශ සපයන ඩයලොග් සමාගම, මෙම කටයුත්ත සඳහා වන අවබෝධතා ගිවිසුමට, Cleantech (Pvt) Limited සමඟින් පසුගියදා අත්සන් තැබීය.

දිවයින පුරා ඩයලොග් හා අත්වැල් බැඳ ගත් මහජනතාවටද, දිවයිනේ ඕනෑම ඩය‌ොලාග් Experience Center පරිශ්‍රයකට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය භාර දෙමින් මේ කාර්යය සඳහා දායක විය හැකිය. e- Kunu ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dialog.lk/e-kunu විවෘතය.