ඔන්ලයින් නියමයන් සහ කොන්දේසි

1. අර්ථ නිරූපණයන් සහ අර්ථ විවරණයන්

මෙම නියමයන් සහ කොන්දේසිවල අන්‍යාකාරයෙන් නියම කර ඇත්නම් මිස, පහත සඳහන් පාඨයන්ගෙන් ඊට ඉදිරියෙන් දැක්වෙන අර්ථය අදහස් විය යුතුය

“ගිවිසුම” යන්නෙන් ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම (DBN සමාගම) සහ පාරිභෝගිකයා අතර ලියා අත්සන් කරන ස්මාට්ලයිෆ් සේවා සැපයුම් උපකරණය (Smartlife Solution) සදහා එළඹෙන එකී ගිවිසුම අදහස් විය යුතු වන අතර, ඊට මෙම ඔන්ලයින් නියමයන් සහ කොන්දේසි, සේවා සැපයුම් උපකරණයට අදාළ යෝජනාවලිය, එහි උපලේඛන සහ ඇමුණුම් ඇතුළත් වන අතර, තව ද, DBN සමාගම සහ පාරිභෝගිකයා අතර එළඹී ඇති, ඊට තදනන්තරව කරන සංශෝධන යනාදිය ද ඇතුළත් වන අතර, එකී ගිවිසුම මෙම විෂය සම්බන්ධයෙන් මීට පෙර තිබෙන යම් කවරම වූ ගිවිසුමක්, පොරොන්දුවක්, ලිඛිතව හෝ වාචිකව කරුණු දැක්වීමක් අභිභවා බලාත්මක විය යුතුය.

“දිනය” යන්නෙන් ලිත් වර්ෂයක දිනය අදහස් විය යුතුය.

“සවිකිරීම” යන්නෙන් සේවා සැපයුම් උපකරණය පාරිභෝගිකයාගේ පරිශ්‍රයේ දී සම්පූර්ණයෙන්ම එකලස් කොට ස්ථාපනය කිරීම අදහස් වේ.

“පාර්ශ්වය” යන්නෙන් තනි තනි වශයෙන් ගත් විට එක්කෝ DBN සමාගම හෝ පාරි‍භෝගිකයා අදහස් විය යුතුය.

“පාර්ශ්වයන්” යන්නෙන් සාමුහික වශයෙන් DBN සමාගම සහ පාරි‍භෝගිකයා යන දෙදෙනොම අදහස් විය යුතුය.

“සේවා සැපයුම් උපකරණය” (Solution) යන්නෙන් එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ සවිස්තරව දැක්වෙන පරිදි, ස්මාර්ට් හෝම් ප්‍රකාරව, සේවා සපයන උපකරණය අදහස් විය යුතු වන අතර, ඊට මෙම නියමයන් සහ කොන්දේසි යටතේ සපයන මෘදුකාංග සහ සහ/හෝ දෘඪාංග ඇතුළත් විය යුතුය.

“සේවාව/සේවාවන්” යන්නෙන් සේවා සැපයුම් උපකරණය සැපයීම, භාරදීම, සවිකිරීම, සහාය ලබාදීම සහ නඩත්තු කිරීම සහ තදනන්තරව සවිකිරීම අදහස් විය යුතුය.

“පාරිභෝගික පරිශ්‍රය” යන්නෙන් පාරිභෝගිකයාට අයිති ස්ථානය අදහස් විය යුතු වන අතර, එහි දී, තනි හෝ බහුවිධ පාරිභෝගික පරිශ්‍ර ඒකකවලට එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ සවිස්තරව දැක්වෙන පරිදි සවිකළ දෘඪාංග/මෘදුකාංග සහ/හෝ සේවා සැපයුම් උපකරණය ඇතුළත් විය යුතුය.

“පාරිභෝගික පරිශ්‍ර එකකය” යන්නේ වෙන් වූ අයිතියක් සඳහා නම්කර ඇති, පාරිභෝගික පරිශ්‍රයේ කොටසක් අදහස් විය යුතු වන අතර, ඊට සවිකළ දෘඪාංග/මෘදුකාංග සහ/හෝ සේවා සපයන උපකරණය ඇතුළත් විය යුතුය.

“වැඩකරන දිනය” යන්නෙන් ශ්‍රී ලංකාවේ යම් ර‍ජයේ හෝ වෙළඳ නිවාඩු දිනයන් හැර, සඳුදා සිට සිකුරාදා දිනය දක්වා වන දිනයන් අදහස් විය යුතුය.

“වර්ෂය” යන්නෙන් ලිත් වර්ෂයක් අදහස් විය යුතුය.

1.1 මෙම නියමයන් සහ කොන්දේසි අවශ්‍ය වන අවස්ථානුගත තත්ත්වයන්ට අනුකූලව, ඒකවචන හඟවන පදවලින් බහුවචන ද, බහුවචන හඟවන පදවලින් ඒකවචන ද, අදහස් විය යුතුය.

1.2 මෙම නියමයන් සහ කොන්දේසිවල එක් එක් ශීර්ෂය හුදෙක් පරිශීලනය කිරීමේ පහසුව සඳහා පමණක් යොදා ඇති අතර, ඒවා එකී ගිවිසුමේ කොටසක් විය යුතු වන බවට අදහස් නොවිය යුතු අතර, හෝ එහි අර්ථ නිරූපණය හෝ අර්ථ විවරණය යම් කවරම වූ ආකාරයකට වෙනස් කිරීමක් කරන බවට අදහස් නොවිය යුතුය.

1.3 එකී ගිවිසුමේ උපලේඛනවලින් මෙම නියමයන් සහ කොන්දේසි අවශ්‍ය ඒකාබද්ධ වන කොටසක් ලෙස ඇතුළත් කරගත යුතුය.

1.4 අර්ථ විවරණ රීතිය පාර්ශ්වයක අවාසියට අදාළ කර නොගත යුතුය. මක්තිසාද යත් එකී පාර්ශ්වය ගිවිසුම හෝ එයින් යම් කොටසක් සෑදීම සඳහා වගකීම දැරූ බැවිනි.

2. ගිවිසුමේ විෂය පථය

2.1 පාරිභෝගික පරිශ්‍රයේ/ පාරිභෝගිකයාගේ පදිංචිකරුවන්ගේ, ආගන්තුකව පැමිණෙන තැනැත්තන්ගේ සහ ගණුදෙනුකරුවන්ගේ භාවිතය සඳහාම පමණක් නොවන ලෙස, එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ සවිස්තරව දැක්වෙන පරිදි, ඇතැම් පහසුකම් සැපයීමට/ වැඩිකිරීමට එකී පාරිභෝගික පරිශ්‍රය තුළ සේවා සැපයුම් උපකරණය සවිකිරීම සහ නඩත්තු කිරීම ගිවිසුමේ විෂය පථයට ඇතුළත් විය යුතුය.

2.2 සපයන සේවාවන් පිළිබඳ නියමයන් සහ කොන්දේසි DBN සමාගම විසින් පාරි‍භෝගිකයාට කලින් දැන්වීමක් භාරදීමෙන් පසුව, කලින් කලට සංශෝධනය කළ හැකිය. පාරිභෝගිකයා එවැනි සංශෝධනවලට එකඟ නොවන විටක දී, එකී ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, පාරිභෝගිකයාට එකී ගිවිසුම සහ මෙම නියමයන් සහ කොන්දේසිවල සවිස්තරව විධිවිධාන ‍සලසන සේවාවන් ලබාගැනීම අවසන් කිරීම සිදුකළ හැකිය.

3. ක්‍රියාවලිය

3.1 පාරිභෝගික පරිශ්‍රය සම්බන්ධයෙන් සිදුකළ යුතු වන සමීක්ෂණය සිදුකිරීම පිණිස දිනයක් නියම කරගැනීම සඳහා DBN සමාගම එහි සේවා හවුල්කරුවන් සමඟ පාරි‍භෝගිකයා කරා පැමිණිය යුතුය.

3.2 පාරිභෝගික පරිශ්‍රය සම්බන්ධයෙන් සිදුකළ යුතු වන සමීක්ෂණයට ගතවන කාලය හුදෙක් එක් එක් සේවා ව්‍යාපෘතියේ විශාලත්වය සහ සංකීර්ණත්වය මත රඳා පවතිනු ඇත. එසේ වුව ද, එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ සවිස්තරව දැක්වෙන පරිදි, එක් එක් සමීක්ෂණයට ගතවන කාලය දින ගණනකට පමණක් සීමාකරගැනීමට DBN සමාගම විසින් සෑම පරිශ්‍රමයක්ම දැරිය යුතුය.

3.3 පාරිභෝගිකයා විසින් සේවා සැපයුම් උපකරණය සඳහා ඇණවුමක් ඉදිරිපත් කිරීමෙන් පසුව, සේවා සැපයුම් උපකරණය සහ ඒ ආශ්‍රිත උපාංග ඇණවුමේ සඳහන් දින සිට දින දාහතරක් (14) ඇතුළත පාරිභෝගික පරිශ්‍රය වෙත භාරදිය යුතුය.

4. පාරිභෝගිකයාගේ බැඳීම්

පාරිභෝගිකයා විසින්,

4.1 සම්බන්ධිත උපකරණය සහ පරිවාරක කේබල් ඇතුළු සේවා සැපයුම් උපකරණය සවිකිරීම පිණිස DBN සමාගමට සහ එහි හවුල්කරුවන්ට අවසර දීම සහ එකී පාරිභෝගික පරිශ්‍රය ඇතුළත ඉඩකඩ වෙන්කර දීම කළ යුතුය.

4.2 සේවා සැපයුම් උපකරණය සවිකිරීම පිණිස අදාළ බලධාරීන් වෙතින් අවශ්‍ය වන සියළුම අනුමැතීන් ලබාගත යුතුය.

4.3 සේවා සැපයුම් උපකරණය සඳහා අවශ්‍ය න්‍යුට්‍රල් වයර්, ඩීප් සන්ක් බොක්ස් වැනි සැලසුම් උපාංග සවිකිරීම පිණිස පවර් අවුට්ලට් සහ විදුලිබල මෙවලම් නියමිත සංඛ්‍යාව සපයා දීම කළ යුතුය.

4.4 සේවා සැපයුම් උපකරණය විසින් උපයෝගිතාවට භාජනය කරන සියළුම උපාංග සඳහා අවශ්‍ය වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගෙන, පවත්වාගෙන යාම කළ යුතුය.

4.5 සේවා සැපයුම් උපකරණය සවිකොට අත්හදා බැලීමේ පරීක්ෂාව සිදුකිරීමට පසුව, එපරිදි පාරිභෝගික පරිශ්‍රයේ/පරිශ්‍ර ඒකකයේ ස්ථාපනය කළ සේවා සැපයුම් උපකරණය භාරගෙන, අවශ්‍ය වෙතොත් UAT ලියවිල්ලට අත්සන් තැබීම කළ යුතුය.

4.6 පාරිභෝගිකයා විසින් අවශ්‍ය යයි සලකන පරිදි, පාරිභෝගික පරිශ්‍රයේ අත්‍යාවශ්‍ය අංග සඳහා දොරවල්, ආලෝකය හෝ යම් වෙනත් එවැනි දේවල් වැනි විකල්ප ප්‍රවේශ පාලක තිබෙන බවට වගබලාගත යුතුය.

4.7 සේවා සැපයුම් උපකරණය සවිකිරීම සම්බන්ධ යම් සැළකිය යුතු කරුණක් වෙතොත්, එවැනි කරුණක්, සේවා සැපයුම් උපකරණය සවිකිරීමේ දින සිට දින තුනක් (03) ඇතුළත DBN සමාගමට දැනුම් දිය යුතුය‍‍.

4.8 ස්මාට් උපාංග භාවිත කිරීම සම්බන්ධයෙන් තනිවම වගකීමට බැඳී සිටිය යුතුවන අතර, මෙම නියමයන් සහ කොන්දේසි යටතේ සවිස්තරව විධිවිධාන සලසා ඇති සේවාවන් සම්බන්ධ නියමයන් සහ කොන්දේසි පිළිපැදිය යුතුය.

4.9 සේවා සැපයුම් උපකරණයට ලොග් වීමේ පරිශීලක නාමයන්වල සහ මුරපදවල රහස්‍යතාව ආරක්ෂා කිරීමට වගකීම දැරිය යුතුය.

4.10 සේවා සැපයුම් උපකරණය සවිකිරීම සහ පාරිභෝගික පරිශ්‍රය සේවා කිරීම කරණ කොට ගෙන පාරිභෝගික පරිශ්‍රය තුළ විලේපන ද්‍රව්‍ය තිබිය හැකි බවට වටහාගත යුතුය.

5. තාක්ෂණික කොන්දේසි

පාරිභෝගිකයා විසින් මතු සඳහන් නියමයන්ට එකග වී පිළිගත යුතුය. එනම්;

5.1 අදීප්ත ආලෝක ක්‍රියාකාරීත්වයක් සඳහා පාරිභෝගිකයා විසින් සූත්‍රිකා පහන් සහ අවශ්‍ය ආධාරක ලාම්පු සැපයිය යුතුය.

5.2 එක් එක් ආලෝක පහන සඳහා විදුලිබල පාරිභෝජනය තනි කාණ්ඩයක දී අවම වශයෙන් වොට් 20ක් සහ උපරිම වශයෙන් වොට් 300ක් විය යුතුය.

5.3 එක් එක් ස්චිචය සඳහා සන්ක් බොක්ස් ගැඹුර අඟල් 1.5කට සමාන හෝ ඊට වැඩි විය යුතුය.

5.4 සේවා සැපයුම් උපකරණයට අවශ්‍ය වන්නේ නම්/නිශ්චිතව සඳහන් වන්නේ නම්, විදුලිබල යටිතල පහසුකම තුළ න්‍යුට්‍රල් වයර් තබීම යෝග්‍ය වේ.

5.5 සේවා සැපයුම් උපකරණය ජීවිත කාලයක් සඳහා වන අතර, එනමුදු ඇතැම් අවස්ථාවල දී, සේවා සැපයුම් උපකරණය නඩත්තු කිරීම සඳහා සහ දෛනික ක්‍රියාකාරීත්වය නොකඩවාම පවත්වාගෙන යාම පිණිස විකල්ප විසඳුමක් භාවිත කිරීමට අවශ්‍ය විය හැකිය.

5.6 සේවා සැපයුම් උපකරණ නඩත්තු කොට පවත්වාගෙන යාම පිණිස ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාව අන අනිවාර්ය වන අතර, ඒ මඟින් අවශ්‍ය වන පරිදි ethernet හෝ Wi-fi සහිතව එකඟ වූ සේවාවන් සපයනු ලැබේ.

5.7 ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාව අවසන් කරනු ලැබුවහොත්, එකී ගිවිසුම වහාම අවසන් කිරීමේ අයිතිය DBN සමාගම විසින් තවදුරටත් රඳවා තබාගනු ලැබේ.

6. DBN සමාගමේ බැඳීම්

DBN සමාගම විසින්,

6.1 සේවා සැපයුම් උපකරණයට සම්බන්ධ සේවාවන්, පාරි‍භෝගික පරිශ්‍රය ඇතුළත DBN සමාගම විසින් නිශ්චිතව සඳහන් කරන සම්මතයන්ට අනුව, එකී සමාගමේ සේවා හවුල්කරු හරහා සැපයීම කළ යුතුය. DBN සමාගම විසින් එකී ව්‍යාපාරික කටයුත්ත, ඉහත දක්වා ඇති අන්දමට හැර, වෙනත් යම් අරමුණක් සඳහා භාවිත නොකළ යුතුය.

6.2 සේවා සැපයුම් උපකරණය සවිකිරීම අදාළ පිරිවිතරයන්වලට අනුව සිදුකරන බවට සහ සේවා සැපයුම් උපකරණය සවිකිරීම නිමකිරීමෙන් පසුව, සේවා සැපයුම් උපකරණයේ අත්හදා බැලීමේ පරීක්ෂාව එකී ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවල අවශ්‍යතාවයන්ට අනුව පාරිභෝගිකයා තෘප්තිමත් වන ආකාරයට සිදුකරන බවට සහතික විය යුතුය.

6.3 සේවා සැපයුම් උපකරණය සහ අනෙකුත් ආශ්‍රිත උපකරණ සවිකරන අතරතුර පාරිභෝගිකයාගේ පරිශ්‍රයට සාධාරණ වශයෙන් හැකි පමණට අවම අලාභ හානියක් ‍සිදුවන අන්දමින් එකී සවිකිරීම කළ යුතුය.

6.4 DBN සමාගම සහ/හෝ එහි නියෝජිතයන්, ඒජන්තවරුන්, සේවකයන් සහ යම් කවරම වූ තෙවන පාර්ශ්වයක් විසින් ඕනෑකමින්ම කරන හෝ බරපතළ ලෙස නොසැළකිලිමත් අන්දමින් කරන යම් ක්‍රියාවන් හෝ නොකරහැරීමක් කරණකොටගෙන ඝෟජුවම ජනිත වන දෝෂයක් නිසා පාරිභෝගිකයා විසින් අත්විඳින යම් අලාභයකට හෝ හානියකට එරෙහිව පාරිභෝගිකයාට හානිපූරණය කිරීම සහ පාරිභෝගිකයා නිර්දෝෂිභාවයේ තැබීම සිදුකළ යුතුය.

6.5 සේවා උපාංග සහ මොබයිල් ඇප් මෙවලම, DBN සමාගමේ සේවා හවුල්කරුවන්ගේ සහයෝගිතාව ඇතිව, කලින් කලට යාවත්කාලීන කිරීමට වානිජමය වශයෙන් සාධාරණ වන පරිශ්‍රමයන් දැරිය යුතුය.

7. ගෙවීම්

7.1 අදාළ සේවා සඳහා සේවා සැපයුම් උපකරණය සඳහා වන ගාස්තු, එකී ගිවිසුමේ නිශ්චිතව සඳහන් ගෙවීම් නියමයන් දැක්වෙන 2 වන උපලේඛනය අනුව පාරිභෝගිකයා විසින් සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දැමිය යුතුය. DBN සමාගම විසින් පාරිභෝගිකයා වෙත සුවිශේෂිත අලෙවි ප්‍රවර්ධනයක් දැනුම් දී ඇත්නම් මිස, සේවා සැපයුම් උපකරණය සඳහා ගෙවීම් එක්වරක් පමණක් සිදුකරන ගෙවීමක් වන බවටත්, සේවා සැපයුම් උපකරණය සදහා ගෙවීම් සැලැස්මක් නොතිබිය යුතු බවටත්, පාරිභෝගිකයා එකඟ වී පිළිගනු ලැබේ.

7.2 සපයන සේවාවන් ආශ්‍රිතව යම් බදු ගෙවීමක් සඳහා පාරිභෝගිකයා වගකීම දැරිය යුතු අතර, සපයන සේවාවන් සදහා පාරිභෝගිකයා විසින් බදු කිසිදු අඩුකිරීමකින් තොරව, DBN සමාගම වෙත ගෙවා දැමිය යුතුය.

7.3 එකී ගිවිසුමට යටත්ව එක් එක් අවශ්‍යතාවට අනුව අයකරනු ලැබිය හැකි ප්‍රවාහනය සඳහා වන ගාස්තු ගෙවා පපියවා දැමීමට පාරිභෝගිකයා විසින් නීත්‍යානුකූල වගකීම දැරිය යුතුය.

7.4 උපාංග සවිකිරීමෙන් පසුව, DBN සමාගම විසින් යම් කවරම වූ හේතුවක් නිසාවත් යම් කවරම වූ අත්පිට මුදලක් ආපසු නොගෙවන බවට පාරිභෝගිකයා විසින් එකඟ වී පිළිගනු ලැබේ.

7.5 සපයන සේවාවන් සදහා DBN සමාගම විසින් මාසික පදනමකින් ඉන්වොයිසි ඉදිරිපත් කළ යුතු වන අතර, පාරිභෝගිකයා විසින් එකී ඉන්වොයිසි, ඒවා ලැබුණු දින සිට දින තිහක් (30) ඇතුළත ගෙවා පියවා දැමිය යුතුය.

7.6 එකී ඉන්වොයිසි සම්බන්ධයෙන් යම් ආරවුලක් මතු කරන්නේ නම්, ඉන්වොයිසිය ලැබීමේ දින සිට වැඩකරන දින පහක් (05) ඇතුළත එකී ආරවුල පිළිබඳව DBN සමාගම වෙත දැනුම් දිය යුතුය. එනමුදු, එකී කාලය තුළ යම් ආරවුලක් මතු නොකරන්නේ නම්, එකී ඉන්වොයිසිය පාරිභෝගිකයා විසින් පිළිගෙන ඇති බවට සැළකිය යුතු වන අතර, ඉක්බිතිව ඊට යම් ප්‍රතිශෝධනයක්/සංශෝධනයක් මගින් බලපෑමක් ඇති නොවිය යුතුය.

7.7 පාරිභෝගිකයා විසින් ගෙවීම් පැහැර හැරීම සිදුකළ විටක දී, එපරිදි පැහැර හරින ලද සියළු ගෙවීම් DBN සමාගම වෙත සම්පූර්ණයෙන්ම ගෙවා පියවා දරන තුරු, DBN සමාගම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවාවන් ලබාදීම නතර කළ යුතුය.

8. වගකීම් සහතිකය

8.1 DBN සමාගම විසින් පාරිභෝගිකයා වෙත වසර දෙකක (02) සේවා වගකීම් සහතිකයක් ලබාදිය යුතු වන අතර, ඊට ආශ්‍රිත උපාංග සහ සේවා සැපයුම් උපකරණය ඇතුළත් විය යුතුය.

8.2 සේවා සැපයුම් උපකරණයේ සැලසුම් උපාංග, හුදෙක් ඒ සැලසුම් උපාංග ලබාගැනීමට තිබෙන ඉඩප්‍රස්ථාව අනුව සලකා, අලුතෙන් යෙදීම සඳහා DBN සමාගම සහ එහි සේවා හවුල්කරුවන් ස්වකීය තනි අභිමතය තවදුරටත් රඳවා තබාගනු ලැබේ.

8.3 වගකීම් සහතිකයේ වලංගු කාලසීමාව අවසන් වීමට තදනන්තරව ඇමතුම් මධ්‍යස්ථානයෙන් සහ පාරිභෝගික පරිශ්‍රයේ දී සහාය පවත්වාගෙන යාමට පාරිභෝගිකයාට අවශ්‍ය වන විටක දී, එකී ගිවිසුමේ 3 වන උපලේඛනයේ සවිස්තරව දැක්වෙන පරිදි, සේවා සැපයුම් උපකරණයට අදාළ යෝජනාවලියේ නිශ්චිතව සඳහන් වන මාසික හෝ වාර්ෂික නඩත්තු ගාස්තුවක් (“නඩත්තු සැලැස්ම”) අයකළ යුතුය.

8.4 පාරිභෝගිකයා නඩත්තු සැලැස්මක පාර්ශ්වයක් නොවන විටක දී, ඇමතුම් මධ්‍යස්ථානයේ සහාය ලබාගැනීම පිණිස ප්‍රවේශය ලබාගැනීමට පාරිභෝගිකයාට අයිතියක් නොමැත. එහි දී, යෝජනාවලියේ සඳහන් පරිදි, නඩත්තු අවශ්‍යතාවන් සඳහා පැමිණෙන වාර ගණනට අයකිරීම් සිදුකළ යුතුය.

8.5 පාරිභෝගිකයා නඩත්තු සැලැස්මක පාර්ශ්වයක් වන විටක දී, එකී ගිවිසුමේ 3 වන උපලේඛනයේ නිශ්චිතව සඳහන් සේවාවන් කළමනාකරණ වශයෙන් ගැනෙන විධිවිධාන අදාළ කරගත යුතුය.

8.6 නඩත්තු ගාස්තු, පාරිභෝගිකයා වෙත කලින් භාරදෙන දැන්වීමකට පසුව, වෙනස් කළ හැකිය.

9. ගිවිසුමේ වලංගු කාලසීමාව

එකී ගිවිසුම, එකී ගිවිසුමේ නිශ්චිතව සඳහන් බලාත්මක වන දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු වන අතර, එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ නිශ්චිතව සඳහන් කාලසීමාවක් සඳහා තවදුරටත් වලංගු ලෙස පැවතිය යුතුය. එකී කාලසීමාව අවසන් වීමෙන් පසුව, එකී ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ එක් පාර්ශ්වයක් විසින් එකී ගිවිසුම අවසන් කරන තුරු, එකී ගිවිසුම එකී ගිවිසුමේ 1 වන උපලේඛනයේ “අලුත්කළ වලංගු කාලසීමාව” යටතේ නිශ්චිතව සඳහන් කාලසීමාවක් සඳහා ස්වයංක්‍රීයවම අලුත් විය යුතුය.

10. ගිවිසුම අවසන් කිරීම

10.1 එකී ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ එක් පාර්ශ්වයක් විසින් එකී ගිවිසුමේ යම් කවරම වූ විධිවිධාන කඩකරනු ලැබ, එකී කඩකිරීම පිළිබඳ ලිඛිත දැන්වීම ඒ පාර්ශ්වය වෙත ලැබීමෙන් දින හැටක් (60) ඇතුළත එකී කඩකිරීම නිවැරදි කිරීම ඒ පාර්ශ්වය විසින් පැහැර හරිනු ලැබූ විටක දී, ගිවිසුම අවසන් කරන අවස්ථාව වන විටත් උපචිත වී ඇති බැඳීම්, හිමිකම් ඉල්ලීම් සහ වගකීම්වලට අගතියකින් තොරව සහ ඊට යටත්ව ඒ අනෙක් පාර්ශ්වයට, එකී ගිවිසුම ලිඛිත දැන්වීමක් භාරදීමෙන් අවසන් කිරීමට හිමිකම තිබිය යුතුය.

10.2 DBN සමාගම විසින්, මෙම නියමයන් සහ කොන්දේසිවල යම් වෙනත් අයිතිවාසිකම්වලට අගතියකින් තොරව, එකී ගිවිසුම මතු සඳහන් යම් කවරම වූ අවස්ථානුගත තත්ත්වයක් උද්ගත වීම මත, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කළ හැකිය. එනම්;

අ) පාරිභෝගිකයා ණයගැතිභාවයට පත්වීම හෝ ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්ය ඈවර කිරිමකට ගමන් කිරීම හෝ ගණන් බේරා වසා දැමීම පිණිස ඵලදායී යෝජනා සම්මතයන් සම්මත කිරීම, හෝ සිය ණයහිමියන් සමඟ යම් වැඩපිළිවෙලක් හෝ සම්මුතියක් ඉදිරිපත් කිරීම සිදුකළ විටක දී, හෝ ඍණපත්‍ර දරන්නන් වෙනුවෙන් හෝ අන්‍යාකාරයෙන් යම් දේපළ භාරකරුවෙකු පත්කළ විටක දී, .

10.3 දින තිහක (30) දැන්වීමක් DBN සමාගමට වෙත භාරදීමෙන් පසුව, පාරිභෝගිකයාට එකී ගිවිසුම අවසන් කළ හැකිය.

10.4 දින තිහක (30) කලින් දැන්වීමක් පාරිභෝගිකයාට භාරදීමෙන් පසුව, DBN සමාගමට සිය අභිමතය පරිදි මෙම ගිවිසුම ඕනෑම විටක දී අවසන් කළ හැකිය.

10.5 පාරිභෝගිකයා විසින් එකී ගිවිසුමේ සැලකිය යුතු වැදගත් අංගයක් කඩ කළ පසුව, DBN සමාගම විසින් මෙම ගිවිසුම වහාම අවසන් කරනු ලැබිය හැකිය.

10.6 එකී ගිවිසුම අවසන් කරනු ලැබීම නිසා කිසිදු මුදලක් ආපසු නොගෙවන බවට පාරිභෝගිකයා විසින් එකග වී පිළිගනු ලැබේ.

11. නීත්‍යානුකූල වගකීමේ සීමාව

11.1 මෙම නියමයන් සහ කොන්දේසි යටතේ සේවා සැපයුම් උපකරණය සැපයීම/භාවිතය, සේවා සැපයුම් උපකරණය අත්හිටුවීම හෝ යම් කවරම වූ හේතුවක් නිසා එකී ගිවිසුම ‍අවසන් කිරීම හෝ මෙම නියමයන් සහ කොන්දේසි යටතේ DBN සමාග‍මේ යම් කවරම වූ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම හෝ කරණකොටගෙන පාරිභෝගිකයාට ව්‍යාපාරය අහිමි වීම, ආදායම අහිමි වීම, ආනුෂංගික හෝ අනියම් අලාභ හෝ යම් වෙනත් අලාභ දැරීම සඳහා, හුදෙක් එවැනි අලාභ/හානි ඇතිවීමට ඉඩප්‍රස්ථාව තිබිය හැකි බවට DBN සමාගමට දැනුම් දී ඇති විටක දී පවා, DBN සමාගමට නීත්‍යානුකූල වගකීමක් නොපැවතිය යුතුය.

11.2 එකී ගිවිසුමට යටත්ව, DBN සමාගමේ උපරිම නීත්‍යානුකූල වගකීම ශ්‍රී ලංකා රුපියල් එක් ලක්ෂයකට සීමා විය යුතුය.

11.3 මෙම නියමයන් සහ කොන්දේසිවල ප්‍රකාශිතව විධිවිධාන සලසා ඇත්නම් මිස, මෙම මෙම නියමයන් සහ කොන්දේසි යටතේ සපයන නිපැයුම්, උපාංග සහ සේවාවන් පිළිබඳව DBN සමාගම විසින් සහතික වීම්, ඇප වීම් හෝ කරුණු දැක්වීම සිදුකරනු ‍නොලැබේ.

12. හානිපූරණය

12.1 මෙම නියමයන් සහ කොන්දේසි යටතේ ‍සේවාවන් සැපයීමේ දී, පාරි‍භෝගිකයාගේ, එහි සේවකයන්ගේ, ‍ගණුදෙනුකරුවන්ගේ, ආගන්තුකව පැමිණෙන්නන්ගේ නොසැලකිල්ල හෝ ඔවුන් විසින් ඕනෑකමින්ම කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා පැන නඟින යම් කවරම වූ සහ සියළුම තෙවන පාර්ශ්වයක හිමිකම්පෑම්වලට එරෙහිව පාරිභෝගියා විසින් DBN සමාගම නිදහස් කිරීම, නිර්දෝෂීභාවයේ තැබීම සහ හානිපූරණය කිරීම කළ යුතු වන අතර, යම් එවැනි හිමිකම් ඉල්ලීමක දී නඩු කීමේ වියදම්වලට පමණක් සීමා නොවන නමුත් ඒවා ද ඇතුළුව සියලුම වියදම් පාරි‍භෝගිකයා විසින් දැරිය යුතුය.

‍12.2 මෙම වගන්තිය මෙම ගිවිසුම කලින් අවසන් කරනු ලැබීම හෝ මෙම ගිවිසුමේ වලංගු කාලය ඉකුත්වීම නොතකා තවදුරටත් නොනැසී පැවතිය යුතුය.

13. ‍බුද්ධිමය දේපළ අයිතිවාසිකම්

13.1 සේවා සැපයුම් උපකරණය සහ/හෝ සේවාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයා හුදෙක් ‍දේපළවල බුද්ධිමය අයිතිකරු වන බවට එකී ගිවිසුමේ කිසිදු කරුණකින් අදහස් නොවිය යුතු බවට පාරිභෝගිකයා විසින් ප්‍රකාශිතවම එකඟ වී පොරොන්දුවට බැඳී සිටිනු ලැබේ. තව ද, සේවා සැපයුම් උපකරණයේ/සේවාවන්ගේ යම් කවරම වූ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් එකී ගිවිසුමේ යම් කවරම වූ කාරණයකින් පාරිභෝගිකයා වෙත පවරනු නොලැබේ.

13.2 මෙම නියමයන් සහ කොන්දේසි යටතේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයක් ඒ අනෙක් පාර්ශ්වයේ හෝ එහි නිෂ්පාදන හෝ සේවාවන් අපකීර්තියට පත්වන අන්දමට හෝ ඒ අනෙක් පාර්ශ්වයේ හෝ එහි නිෂ්පාදන හෝ සේවාවන්ට ව්‍යාජ දෘෂ්ටියක් නිරූපණය කරන ඒ අනෙක් පාර්ශ්වයේ වෙළඳ ලකුණු, සේවා ලකුණු, ලාංඡන සහ/හෝ වෙනත් සන්නාම් නාම වෙතොත් ඒවා භාවිතා කිරීම නොකළ යුතුය. එක් එක් පාර්ශ්වය විසින් ඒ අනෙක් පාර්ශ්වයේ එවැනි වෙළඳ ලකුණුවල, සේවා ලකුණුවල, ලාංඡනවල සහ/හෝ වෙනත් සන්නාම් නාමවල භාවිතය සම්බන්ධයෙන් ඒ අනෙක් පාර්ශ්වයේ ඉල්ලීම්වලට අනුකූලතාව දැක්විය යුතු වන අතර, එවැනි වෙළඳ ලකුණක, සේවා ලකුණක සහ/හෝ වෙනත් සන්නාම් නාමවල වටිනාකම යම් කවරම වූ ආකාරයකට හීන කරවන යම් කවරම වූ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් ද වැළකී සිටිය යුතුය.

14. රහස්‍යභාවය

14.1 එකී ගිවිසුමේ එක් එක් පාර්ශ්වය, තමන් විසින් එකී ගිවිසුම ය‍ටතේ හෝ එකී ගිවිසුම ඉටුකිරීම සම්බන්ධයෙන් යම් වෙනත් පාර්ශ්වයක් හෝ පිළිබඳව අත්කරගත් (ඍජුව හෝ වක්‍රව වුව ද,) යම් කවරම වූ ආකාරයක සියළුම වාණිජ සහ තාක්ෂණික තොරතුරු (මෙහි මින්මතු “රහස්‍ය තොරතුරු” වශයෙන් හඳුන්වන,) තරයේම රහස්‍යභාවයෙන් තබාගැනීම පිණිස සිය උපරිම පරිශ්‍රමයන් භාවිත කළ යුතු අතර, ‍එලෙස තරයේම රහස්‍යභාවයෙන් තබාගැනීමට සිය සේවකයන් සහ නියෝජිතයන් සියළු දෙනාම සම්බන්ධයෙන් බන්ධනීය විය යුතුය. තව ද, එකී ගිවිසුමෙන් අවලෝකනය කරන අරමුණු සඳහා මිස, යම් කවරම වූ වෙනත් අරමුණු සඳහා එවැනි රහස්‍ය තොරතුරු යම් කවරම වූ පාර්ශ්වයක් විසින් ප්‍රයෝජනයට ගැනීම නොකළ යුතුය. එමෙන්ම, යම් කවරම වූ පාර්ශ්වයක් විසින් ඒ අනෙක් පාර්ශ්වයෙන් කලින් ලබාගන්නා එකඟතාවකින් තොරව, යම් කවරම වූ ආකාරයක රහස්‍ය තොරතුරු යම් කවරම විටක දී වුව ද, තෙවන පාර්ශ්වයක් වෙත අනාවරණය නොකළ යුතුය.

14.2 මෙම වගන්තියේ දක්වා ඇති විධිවිධාන, එකී ගිවිසුමේ වලංගු කාලය කල් ඉකුත් වී යාම හෝ කලින් අවසන් කිරීම සිදු වුව ද, සීමා රහිත කාලසීමාවන් සඳහා තවදුරටත් බලාත්මකව පැවතිය යුතුය.

15. ප්‍රසිද්ධියට පත් කිරීම

එකී ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් හෝ එකී ගිවිසුමෙන් අවලෝකනය කරන යම් කවරම වූ ගනුදෙනු සම්බන්ධයෙන් DBN සමාගමෙන් කලින් ලබාගන්නා ලිඛිත එකඟතාවයකින් තොරව, යම් කවරම වූ නිල පුවත්පත් නිවේදනයක් හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ හෙළිදරව්වක් කිරීමට, ඊට අවසර දීමට හෝ බලය දීමට පාරිභෝගිකයාට හිමිකමක් නොපැවතිය යුතු වන අතර, තව ද, ලිඛිත එකඟතාව ලබාදීම අසාධාරණ ලෙස රඳවා තබාගැනීම ද නොකළ යුතුය.

16. පාලනය වන නීතිය

එකී ගිවිසුම ශ්‍රී ලංකාවේ නීති අනුව පාලනය විය යුතු වන අතර, ඒ අනුව වටහා ගත යුතුය.

17. ආරවුල් විසඳීම

එකී ගිවිසුම හෝ එකී ගිවිසුමේ යම් කවරම වූ විධිවිධානයක් සම්බන්ධයෙන් යම් කවරම වූ කාරණාවන්ට ‍අදාළව පාර්ශ්වකරුවන් ‍අතර, යම් ආරවුලක් හෝ විෂමතාවක් පැන නැගුණහොත්, මෙහි පාර්ශ්වකරුවන් ඒ ආරවුල හෝ විෂමතාව මිශ්‍ර ලීලාවෙන් සුහඳව විසඳා ගැනීමට සිය උපරිම පරිශ්‍රමය දැරිය යුතුය. මෙහි පාර්ශ්වකරුවන්ට එවැනි ආරවුලක් හෝ විෂමතාවක් දින තිහක (30) කාලයක් නොඉක්මවා, මෙහි සඳහන් පරිදි මිත්‍ර ලීලාවෙන් සුහඳශීලිව විසඳා ගැනීමට නොහැකි වු‍වහොත්, ශ්‍රී ලංකාවේ නිසි අධිකරණ බලය සහිත අධිකරණයක නඩු කීමෙන්/කරුණු සැළකොට ඔප්පු කිරීමෙන් විසඳා ගැනීම සිදුකළ යුතුය.

18. දැන්වීම්

‍‍එකී ගිවිසුමේ සවිස්තරව විධිවිධාන සලසා ඇති පරිදි, එකී ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ එක් පාර්ශ්වයක් විසින් ඒ අනෙක් පාර්ශ්වයට භාරදීමට නියම වන හෝ බලය පැවරෙන යම් දැන්වීමක් හෝ වෙනත් තොරතුරු, භාරගත් බවට නිසි පිළිගැනීමක් සහිතව ඒ අනෙක් පාර්ශ්වයට අතින් භාරදීමෙන් හෝ ලියාපදිංචි තැපෑලෙන්, ෆැක්ස් මඟින් හෝ වෙනත් ඊට සමාන සන්නිවේදන ක්‍රමයක් හරහා යැවීමෙන් ඒ අනෙක් පාර්ශ්වයට භාරදීම කළ හැකිය.

19. https://www.dialog.lk/legal හෝ DBN සමාගම විසින් කලින් කලට තීරණය කරනු ලැබිය හැකි වෙනත් ස්ථානයක ස්ථානගත වී තිබෙන අල්ලස සහ දූෂණ විරෝධී බව පිළිබඳ වගන්ති, ප්‍රවේශ වගන්ති, තොරතුරු ආරක්ෂාව සහ දත්ත ආරක්ෂාව පිළිබඳ වගන්ති පාරිභෝගිකයා විසින් පිළිපැදිය යුතුය.

20. දේව ක්‍රියා

එකී ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ පාර්ශ්වයක් විසින් එකී ගිවිසුමේ යම් කවරම වු නියමයක්, බැඳීමක්, විධිවිධානයක් හෝ කොන්දේසියක් ඉටුකිරීම, පිළිපැදීම හෝ සපුරාලීම පැහැර හැරීම හෝ ප්‍රමාද කිරීම නිසා උද්ගත වන අලාභ සඳහා, හුදෙක් එකී පැහැර හැරීම හෝ ප්‍රමාද කිරීම පැන නැගී ඇත්තේ එක් එක් පාර්ශ්වයේ සාධාරණ පාලනයෙන් ඔබ්බට වන යම් හේතුවක හෝ හේතූන්වල සමස්තය හෝ කොටසක් නිසා හෝ එක් එක් පාර්ශ්වයේ දෝෂයකින් හෝ නොසැලකිල්ලකින් තොරව නම්, සහ එවැනි අවස්ථානුගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සාධාරණ උත්සාහයන් ගෙන ඇති බවට එක් එක් පාර්ශ්වය විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත්නම්, මෙහි කිසිදු පාර්ශ්වයකට නීත්‍යානුකූල වගකීමක් නොතිබිය යුතුය.

21. සම්බන්ධතාව

එකී ගිවිසුමෙන් හෝ එකී ගිවිසුමට අනුකූලව පාර්ශ්වකරුවන් විසින් ගන්නා යම් ක්‍රියාමාර්ගයක් DBN සමාගම සහ පාරි‍භෝගිකයා සම්බන්ධයෙන් ගත්විට, පිළිවෙළින් ඒ ඒ පාර්ශ්වයන් ඒ අනෙක් පාර්ශ්වයේ හවුල්කරුවෙකු, බද්ධ ව්‍යාපාරිකයෙකු, සංගමයක් හෝ වෙනත් සමූපකාර අස්ථිත්වයක් සංයුක්ත නොවිය යුතු වනවා සේම එපරිදි වටහා නොගත යුතු අතර, තව ද, යම් කවරම වූ අරමුණක් සඳහා එක්කෝ දේශ සීමාව තුළ හෝ ඉන් පිටත මෙම ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් යම් කවරම වූ පාර්ශ්වයක් ඒ අනෙක් පාර්ශ්වයේ ඒජන්තවරයෙකු වශයෙන් පත්නොකළ යුතුය. තව ද, එකී ගිවිසුමේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයකට යම් කවරම වූ ආකාරයකට හෝ යම් කවරම වූ අරමුණක් සඳහා, ඒ අනෙක් පාර්ශ්වයේ නාමය බැඳීමකට නතු කිරීමට හෝ ඒ අනෙක් පාර්ශ්වයට එරෙහිව යම් නීත්‍යානුකූල වගකීමක් ඇති කිරීමට අධිකාරිය හෝ බලය නොතිබිය යුතුය.

22. පැවරීම

මෙම ලියවිල්ලේ දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයකට එකී ගිවිසුමේ විධිවිධාන හෝ මෙම ලියවිල්ලේ අයිතිවාසිකම්, යුතුකම් සහ/හෝ වගකීම් ඒ අනෙක් පාර්ශ්වයෙන් ලබාගන්නා පූර්ව එකඟතාවයකින් තොරව පැවරිය නොහැකිය.

23. සමස්ත ගිවිසුම

එකී ගිවිසුමෙන් පාර්ශ්වකරුවන් අතර සමස්ත එකඟතාව වාර්තා කරන අතර, මෙම ගිවිසුම මෙම විෂය සම්බන්ධ කලින් යම් කවරම වූ ගිවිසුම් අභිභවා බලපැවැත්විය යුතුය. මෙම ලියවිල්ලේ යම් නියමයන් සහ කොන්දේසියකට කරන වෙනසක්/සුළු වෙනසක්, ලිඛිතව ලියා එක් එක් පාර්ශ්වය විසින් ඊට අත්සන් තබා ඇත්නම් පමණක් ක්‍රියාත්මක විය යුතුය.