Body

'ඩයලොග් රිදී රැයක් 2022' දෙසැම්බර් 18 වෙනිදා BMICH හීදී

දෙසැම්බර් 09, 2022         (කොළඹදී)

 

Dialog Ridee Reyak 2022

‘Dialog රිදී රැයක් 2022' එළිදැක්වීමේ අවස්ථාවේදී ඩයලොග් ආසිආටා පීඑල්සී හි උප සභාපති සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා විසින් සිනෙස්ටාර් පදනමේ සභාපති - ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සමරු චෙක්පත පිළිගැන්වූ මොහොත.

ඡායාරූපයේ වමේ සිට දකුණට : සිනෙස්ටාර් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - ආචාර්ය කිෂූ ගෝමස් මහතා, ප්‍රවීණ රංගවේදී ජීවන් කුමාරතුංග මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පිනි නිලන්ති ඩයස් මහත්මිය සහ රංගන ශිල්පි රොෂාන් පිලපිටිය මහතා

රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන ‘ඩයලොග් රිදී රැයක් 2022’ මෙවර අති උත්කර්ෂවත් ලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 18 වෙනිදා ප.ව 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ‘රිදී රැයක්’ ප්‍රසංගය මෙවර සංවිධාන වන්නේ 20 වෙනි වරටයි.

වසර ගණනාවක් පුරාවට මෙරට රසික සම්භාවනාවට පාත්‍රවී තිබෙන මෙම විචිතවත් ප්‍රසංගය සඳහා 8 වෙනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත්වී සිටී. 320කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුබසිද්ධිය පිණිස කැපවූ සිනෙස්ටාර් අරමුදල ගොඩනැංවීමේ අරමුණින්, සිනෙස්ටාර් පදනම විසින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මගින් උපයනු ලබන මුදලින් සිනෙස්ටාර් සාමාජිකයන් හට වෛද්‍ය හා ජීවිත රක්ෂණාවරණ පිරිනැමෙන අතර, වියපත් ශිල්පීන් හට මාසික දීමනාවන් ලබාදීමට සිනෙස්ටාර් පදනම කටයුතු කරයි.

සිංහල සිනමාවේ දීර්ඝකාලීන සම්ප්‍රදාය ගෞරවාන්විතව ඉදිරියට රැගෙන යමින් වසර 20 ක් පුරාවට ඉදිරිපත් කරන ‘ඩයලොග් රිදී රැයක් 2022’ ප්‍රසංගය සඳහා චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟින් එක්ව විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට ආකර්ෂණීය නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු රැසක් සැදී පැහැදී සිටිති. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන,වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න,චන්න පෙරේරා, අනූෂා දමයන්ති,නිලන්ති ඩයස්,මංජුලා කුමාරි, රොෂාන් පිළපිටිය,සුරාජ් මාපා, පුබුදු චතුරංග,රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, සාරංග දිසාසේකර, චිලී තිලංක, අනුජ් රණසිංහ,ජනිත් වික්‍රමගේ, චතුරිකා පීරිස්,බිමල් ජයකොඩි, දිනක්ෂි ප්‍රියසාද්,සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, ඉරේෂා අසංකි, ශනුද්‍රි ප්‍රියසාද්, මිහිර සිරිතිලක, දුෂේනි ද සිල්වා, තරින්දි ප්‍රනාන්දු, ගයන් වික්‍රමතිලක, දිනෙත් ද සිල්වා ඇතුළු බොහෝ පිරිසක් මෙම තරු පොකුරට අයත් වෙති.

‘සිනෙස්ටාර්’ පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා 'ඩයලොග් රිදී රැයක් 2022' මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, "මෙය කවදාවත් මට ගැටලුවක් නොවූ ඉසව්වක්.චන්න විජේවර්ධනට කටයුතු භාරදීමෙන් පසුව මට නැවත ඒ පෙර සූදානම ගැන විශේෂයෙන් සොයා බලන්නවත් අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නෑ.මෙහිදී කලාකරුවන්ගේ එකමුතුව ගැන කිව යුතුමයි.මේ කටයුත්තේදී කලා කරුවන් දක්වන එකමතුව නිසාමයි මෙය අවුරුදු 20ක් තරම් කාලයක් මේ විදිහට ඉදිරියට ගියේ.”

“රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අභියෝගාත්මක මෙවැනි කාලයකත් අත් නොහැර මෙම ප්‍රසංගය වෙනුවෙන් අවශ්‍ය අනුග්‍රාහක දිරිබලය ලබාදීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා සමාගමට සමස්ත කලාකරුවන්ගේ ගෞරවය හිමිවිය යුතුයි. පසුගිය කොවිඩ් සමයේ ඇතිවූ ප්‍රශ්න සහ ආර්ථිකය කඩා වැටීම තුළ මෙරට කලා ක්ෂේත්‍රයේ වාණිජමය වශ‍යෙන් යම්කිසි පසුබෑමක් ඇතිවුණා.ඒ නිසා මේ ගෙවෙන්නේ කලා ක්ෂේත්‍රයට උදව් අවශ්‍යම මොහොතක්. එවැනි මොහොතක ඩයලොග් සමාගම අපත් සමග මේ අයුරින් රැඳී සිටීම අප අගය කළ යුතුයි.ඩයලොග් සමාගම වසර 8ක් අපත් සමග හිටියා" යැයි සිනෙස්ටාර් පදනමේ අධ්‍යක්ෂ කිෂූ ගෝමස් මහතා පැවසීය.

‘ඩයලොග් රිදී රැයක් 2022’ ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිල රු. 1500, රු. 3000, රු. 5000, රු.6000, රු.7500 සහ රු. 10000 ක් වන අතර, බොරැල්ලේ සදීපා, නුගේගොඩ, මහරගම හා කිරිබත්ගොඩ සරසවි පොත්හල් වෙතින් සහ නවලෝක රෝහලේ පිහිටි සිනෙස්ටාර් ප්‍රධාන කාර්යාලයෙන්ද ලබාගත හැක. ප්‍රවේශපත්‍ර පිළිබඳ විමසීම් 0112305060 ඇමතීමෙන් ලබාගත හැකිය.

ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධාන කිරීමට යොමු වූ ‘රිදී රැයක්’ ප්‍රසංගය සජීවීව නැරඹීමට එක්වන ලෙස සිනෙස්ටාර් පදනම සහ ඩයලොග් සමාගම සියලුම සිනමා රසික රසිකාවියන්ට ගෞරවයෙන් ඇරයුම් කර සිටීයි.