Body

ශ්‍රී ලංකාවේ පළමු ඩ්‍රයිව්-ඉන්-කොන්සර්ට් ප්‍රසංගයට ඩයලොග් ආසිආටා සවිබලය

29 June 2020         Colombo

 

news-1

කොවිඩ් -19 වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වූ පළමු සජීවී සංගීත ප්‍රසංගය බවට පත්වෙමින් රසික ආදරය නොමදව දිනාගත් භාතිය සහ සන්තුෂ් ටී.වී. දෙරණ සමඟ එක්ව මෙරට පළමු ඩ්‍රයිව්-ඉන්-කොන්සර්ට් සංගීත ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පසුගියදා පැවැත්වූ අතර ඩයලොග් ආසිආටා සමාගම ඒ සඳහා සවිබලය ලබාදෙන ලදී.

ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් වූ මෙම සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වුණේ රත්මලාන ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළයි. මෙම සංගීත ප්‍රසංගය සඳහා ජනප්‍රිය කලාකරුවන් වන උමාරියා, සනුක, වස්ති සහ යොහානි සහභාගී වූ අතර දක්ෂ තරුණ සංගීත කණ්ඩායමක් වූ “INFINITY” මේ සඳහා සංගීතය සපයමින් සමාරම්භක අංගය ඉදිරිපත් කරන ලදී.

ඩයලොග් අනුග්‍රහයෙන් භාතිය සහ සන්තුෂ් ඉදිරිපත්කළ මෙම සංගීත ප්‍රසංගය ශ්‍රී ලංකාව තුළ පැවැත්වූ පළමු ඩ්‍රයිව් -ඉන්-කොන්සර්ට් ප්‍රසංගයට අමතරව කොවිඩි -19 ඇඳිරි නීතියට පසුව දකුණු ආසියාවේ පැවැත්වූ පළමු ඩ්‍රයිව්-ඉන්-කොන්සර්ට් සජීවී සංගීත ප්‍රසංගය ලෙසින්ද කැපී පෙනේ.

කොවිඩ් -19 ඇඳිරි නීතියෙන් පසුව නැවතත් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කරමින් යළිත් ව්‍යාපාරික සහ එදිනෙදා කටයුතු ආරම්භ කරමින් ජනතාව දිරිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය (SLIM) විසින් දියත් කළ Restart Sri Lanka වැඩසටහනේ අංගයක් ලෙසින් මෙම සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වීය. කොවිඩ් -19 ඇඳිරි නීතිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම නතරවූ මෙරට විනෝදාස්වාද කර්මාන්තය යළිත් සංකේතාත්මකව ආරම්භ කිරීම වෙනුවෙන් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම මෙහිදී කැපී පෙනේ. කොවිඩි -19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර තිබෙන සෞඛ්‍ය සහ ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස භාවිතා කරමින් අදාළ බලධාරීන්ගේ සුපරික්ෂාව යටතේ මෙම සංගීත ප්‍රසංගය පවත්වන ලදී. මෙම සංගීත ප්‍රසංගයෙන් උපයාගත් ආදායම “ඉටුකම“ කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරන ලදී.

වසංගත තත්ත්වයදී එය පැතිරයාම වලක්වා ගැනීම සඳහා ජනතාව අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ජනතාව රසවින්දනයට පත්කිරීම සඳහා කදිම විසඳුමක් ලෙසින් ලෝකය පුරාම මෙම ඩ්‍රයිව් -ඉන්-කොන්සර්ට් සංකල්පය අතිශයින් ජනප්‍රිය වී ඇත.

මෙම ප්‍රසංගයේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සඳහා ප්‍රසංගයට පැමිණි කිසිඳු රසික රසිකාවියකට තම මෝටර් රථ වලින් පිටතට පැමිණීමට අවස්ථාවක් ලබා නොදුන් අතර ප්‍රසංගයේ හඬ විශේෂ HD, FM පරාසයක් යටතේ විකාශය කිරීමට කටයුතු කර තිබුණේ ඉතාමත් පැහැදිලිව ප්‍රසංගය රසවිඳීමේ අවස්ථාව ලබාදෙමිනි. කලාකරුවන්ට තම ප්‍රසාදය දැක්වීම සඳහා වාහනවල නලා ශබ්ද කිරීමට සහ හෙඩ් ලයිඩ් ආලෝකය එල්ල කිරීමට අවස්ථාව මෙහිදී ලබාදී තිබීම මෙම ප්‍රසංගයේ පැවති තවත් කැපී පෙනෙන අංගයක් විය. “පසුගිය කාලයේ සජීවී සංගීත ආශ්වාදය අපිට අහිමි වෙලයි තිබුණේ. මෙම ප්‍රසංගයේදී අපි ආදරය කරන කලාකරුවන් අපි ඉදිරියේ සිදුකළ ඉදිරිපත් කිරීම් අතිවිශිෂ්ටයි. මෙය උසස් ප්‍රසංගයක්“ යනුවෙන් මෙම ප්‍රසංගයට සහභාගී වූ රසිකාවියක් සතුටින් ඉපිලෙමින් පැවසුවාය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුළු ලෝකයම වසා දමා තිබූ අවස්ථාවේ සංගීතවේදීන් අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය යොදා ගනිමින් නැවුම් ආකාරයෙන් තම රසික රසිකාවියන් පිනවීමට කටයුතු කරමින් සිටින අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු නිසා මේ වනවිට සමාජය තුළ ප්‍රසංග පැවැත්වීම අභියෝගයක් බවට පත්ව තිබේ.

මෙම BNS Drive-in Concert with Dialog ප්‍රසංගය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සහ ටීවී දෙරණ විසින් සවිබලගන්වන ලදී.