Body

එකම කණ්ඩායමක්, එකම අරමුණක් ක්‍රීඩාව ඔස්සේ මිනිසුන් එක්සත් කරමින්..

 

ජයිකා- ඩයලොග් එකතුවෙන් FIFA පාපන්දු ලෝක කුසලාන වවුනියාවේ සහ කුරුණෑගල පාසල් දෙකකට රැගෙන එයි

දෙසැම්බර් 06, 2022         (කොළඹදී)

 

JICA-Dialog Partnership brings FIFA World Cup Football

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිසුන් FIFA ලෝක කුසලාන තරගාවලියේ ජපානය සහ කොස්ටරිකාව අතර පැවැති තරගය නරඹමින්

JICA-Dialog Partnership brings FIFA World Cup Football

පාසල් දෙකෙහි සිසුන් එක් කණ්ඩායමකට සාමාජිකයන් 08 බැගින්වූ කණ්ඩායම් දෙකක් වශයෙන් වවුනියාවේදී පාපන්දු තරගයක් ක්‍රීඩා කරමින්

FIFA පාපන්දු‍ ලෝක කුසලාන උණුසුම ලොවම වෙලාගෙන සිටින මොහොතක, ඒ යටතේ පැවැත්වෙන ජපානය සහ කොස්ටරිකාව අතර තරගය සජීවීම නැරඹීමට සහ සිය පාසල් දෙක අතර සුහද තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුරුණෑගල සහ වවුනියාවේ පාසල් දෙකක් වෙත පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් 'ජයිකා' ( JICA ) JICA එක්ව කටයුතු කරන ලදි.

මේ යටතේ වව්නියාව සුන්දරපුරම් සරස්වතී විද්‍යාලයේ බාලක සහ බාලිකා පාපන්දු කණ්ඩායම් සහ කුරුණෑගල ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයන් තම ප්‍රියතම ක්‍රීඩාවේ යෙදීම වෙනුවෙන් නොවැ. 27 ඉරිදා එකිනෙකා හමුවිය.

මිත්‍රත්වය සහ සුහදතාව සපිරුණු එම සන්ධ්‍යාවේ පාසල් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මිශ්‍රවූ කණ්ඩායම් ලෙසින් සුහද තරගවල යෙදුණු අතර එහිදී සරස්වතී විද්‍යාලයේ බාලක සහ බාලිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම සහ ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගෙන් සමන්විත වන පරිදි අටදෙනෙකු බැගින් වූ කණ්ඩායම් තරග වැදුණි. මෙම කණ්ඩායම් වෙනස් භාෂාවන්, වෙනස් ජාතීන්, වෙනස් වයස්කාණ්ඩ, ස්ත්‍රී පුරුෂභාවය, වෙනස් පසුබිම්, දිවයිනේ වෙන වෙනත් පළාත් ආදී විවිධත්වයන් රැසකින් සමන්විත වීම අපූර්වත්වයක් විය. ඔවුන් එකිනෙදා පළමුවරට මුණගැසුනේද එදිනය. නමුත් එකම ඉලක්කයක් සහිත වූ මනසකින්, එකම කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා කිරීමට ඔවුනට ඒ කිසිවක් බාධාවක් නොවීය.

මෙම සුහද තරගවලින් අනතුරුව ෆිෆා ලෝක කුසලානේ පළමු වටය යටතේ ජපානය සහ කොස්ටරිකාව අතර පැවති තරගය පාසල් ශාලාවේ සිට සජීවීව නැරඹීමට ඔවුනට අවස්ථාව හිමිවිය.

එයට සමගාමීව මෙම ෆිෆා තරගය කුරුණෑගල පිහිටි ජපන් භාෂා පාසලක් වන ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේදී ද සජීවීව ප්‍රදර්ශනය කෙරුණි.

ඒ යටතේ මෙම ස්ථාන දෙකේදීම සිසුන්, ගුරුවරුන් සහ අමුත්තන් 150කට අධික පිරිසකට ක්‍රීඩාවේ උද්‍යෝගය සහ ක්‍රීඩාශීලීත්වය භුක්තිවිඳීමට හැකිවිය.

ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී, ශ්‍රී ලංකාවේ පාරිසරික අධ්‍යාපනය, ආබාධ සහිත පුද්ගලයින්ගේ සුබසාධනය සහ අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා සහාය වීම සඳහා මෙරට සේවය කරන JICA ස්වේච්ඡා වැඩසටහනේ (JOCV) ස්වේච්ඡා සේවකයන් ශ්‍රී ලංකාවේ සිය වැඩ කටයුතු පිළිබඳව මෙන්ම ජපානය සහ එහි සංස්කෘතිය ගැනත් දෙරටේ පොදු වටිනාකම් ආදියත් ඉස්මතු කරමින් මෙහිදී කථා කළහ. කුරුණෑගල පැවති උත්සවයට එක් වූ ආරාධිතයන් අතර ස්පුට්නික් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එෂාන්ත ආරියදාස මහතා සහ ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යෝෂිඩා කෙන්ටාරෝ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

සරස්වතී විද්‍යාලයේ පැවති උත්සවයේ ආරාධිත අමුත්තා ලෙසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා සහභාගී විය. උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර්.උමාකාන්තන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙනින් අරිවාකලන් මහතා, සරස්වතී විද්‍යාලයේ විදුහල්පතිනි ජේ.මනෝගෞරී මහත්මිය, JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා ඇතුළු උතුරු පළාතේ සහ JICA හි අනෙකුත් නිලධාරීහු, ළමුන් සහ ගුරුවරුන් සමඟ වව්නියාව, සුන්දරපුරම් හි පැවති එම උත්සවය සැමරීමට එක් වූහ.

සුන්දරපුරම් යනු JICA අරමුදල් සපයන "නැගී එන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය (RIDEP)" යටතේ ආධාර ලබන ගම්මානයකි. RIDEP යටතේ වන සුන්දරපුරම් පානීය ජල සම්පාදන උප ව්‍යාපෘතියේ කාන්තා මූලික නිවාස දෙකකට නල ජල සැපයුමද මීට සමගාමීව අමුත්තන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය මෙන්ම ශ්‍රී ලංකාවේ JICA හි 40 වැනි සංවත්සරය යෙදී තිබීම හේතුවෙන් ජපානයට සහ ශ්‍රී ලංකාවට මෙම වසර විශේෂ වැදගත්කමක් ගනීයි.