Body

මහජනයා වෙනුවෙන් කොවිඩ්-19 ගෘහස්ථ ප්‍රතිකාර විසඳුමක් හඳුන්වාදීමට ඩයලොග්, වේව්නෙට් සමග ලංකා බැංකුව එක්වෙයි

කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් වෙනුවෙන් මධ්‍යගත සන්නිවේදන මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

June 29, 2021         Colombo

 

news-1

ඡායාරූපය වමේ සිට:වෛද්‍ය ලාල් පනාපිටිය- නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - වෛද්‍ය සේවා, වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග - අතිරේක ලේකම්- මහජන සෞඛ්‍ය සේවා,වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය - සභාපති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,වෛද්‍ය සුනිල් ද අල්විස් - අතිරේක ලේකම් (වෛද්‍ය සේවා),වෛද්‍ය අසේල ගුණවර්ධන - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි - සෞඛ්‍ය ඇමතිනී, ගරු මහාචාර්ය චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, කාංචන රත්වත්ත මහතා - සභාපති, මහජන බැංකුව,සුපුන් වීරසිංහ මහතා - සමූහ ප්‍රධාන විධායක - ඩයලොග් ආසිආටා පීඑල්සී, සුරේන් පින්ටෝ මහතා - ප්‍රධාන විධායක නිලධාරී, වේව්නෙට් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම

කොවිඩ්-19 වසංගත තත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතයට සහයෝගය දක්වමින් මෙරට අංක එකේ බැංකුව වන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හා වේව්නෙට් සමාගම යුගයේ අවශ්‍යතාවක් ඉටුකරමින්, PCR පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර නිසි කළමනාකරණයකින් යුතුව සිදුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට 1390 ජාතික ඒකාබද්ධ කොඩිව්-19 ගෘහස්ථ සත්කාර ඩිජිටල් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කර්තව්‍යට දායක විය. මෙම ව්‍යාපෘතිය අතිගරු ජනපතිතුමන්ගේ සහ සෞඛ්‍ය ඇමතිතුමියගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව හඳුන්වාදෙන්නකි.

කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම සැලකිල්ලට ගැනීමේදී මෙම අංග සම්පූර්ණ ඒකාබද්ධ ගෘහස්ථ සත්කාර විසඳුම මඟින් රෝහල් සෞඛ්‍ය සේවා පද්ධතිය මත යොමුවන බර අවම කිරීමටත්, කොවිඩ්-19 සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට ප්‍රායෝගික හා පහසු සුවවීමේ යාන්ත්‍රණයක් ලබාදීමටත් උපකාර වනු ඇත. 1390 ගෘහස්ථ සත්කාර විසඳුමේ අරමුණ වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ දුරස්ථ අධීක්ෂණය යටතේ නිවසේදී නිරෝධායනය වීමේ උපරිම අස්වැසිල්ල ලබාදීමයි.

ලංකා බැංකුව විසින් පිරිස් බලය සපයන මෙම ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථාන විසඳුම, රෝගීන් හා වෛද්‍යවරුන් අතර සබඳතාව පවත්වාගැනීමට, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන ඩයලොග් විසින් බලගන්වන ගාස්තු රහිත 1390 හදිසි ඇමතුම් අංකය සමගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නියම කරන ලද අවශ්‍යතා සපුරාලන ‌සේ අදාළ සේවය සැපයේ. මෙම රෝගී කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කර අනුග්‍රහය දක්වන ලද්දේ වේව්නෙට් පුද්ගලික සමාගම විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂයෙන් පුහුණු කරන ලද නියෝජිතයන් සහිත මෙම අමතුම් මධ්‍යස්ථානය එහි කාලසීමාව වෙනුවෙන් ලංකා බැංකුව අනුග්‍රහය දක්වන අතර ඩයලොග් විසින් අදාළ විදුලි සංදේශ සේවා නොමිලේ සපයනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලාපීය මට්ටමින් වෛද්‍යවරුන්ගේ පුහුණුව හා අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පහසුකම් සපයන අතර සමස්ත යාන්ත්‍රණය පරිපාලනය කිරීම, පහසුකම් සැපයීම හා පාලනය සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

පළමුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලාපීය යාන්ත්‍රණය විසින් PCR පරීක්ෂණ මඟින් තහවුරු වූ කොවිඩ්-19 ආසාධිත රෝගීන් තක්සේරුවකට ලක්කර කුමන රෝගීන් ගෘහස්ථ සත්කාර සඳහා සුදුසුකම් ලබන්නේද, කුමන රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ යුතුද යන්න තීරණය කරනු ඇත. එලෙස තක්සේරු කිරීමේදී ගෘහස්ථ සත්කාර සඳහා තෝරාගත් රෝගියාගේ තොරතුරු ලංකා බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ඇමතුම් මධ්‍යස්ථානය සහ අදාළ සෞඛ්‍ය සේවා වෙත යොමු කෙරේ. ඉන් අනතුරුව රෝගියාගේ දිස්ත්‍රික්කය මත පදනම්ව එම රෝගියා වෙනුවෙන් වෛද්‍යවරයෙකු පත්කරනු ලබන අතර එම වෛද්‍යවරයා, රෝගියා සම්පූර්ණ සුවය ලබන තෙක් හෝ රෝහලක් වෙත යොමුකරන තුරු දෛනික දුරස්ථ අධීක්ෂණය හා රෝගියාගේ බාහිර සෞඛ්‍ය තත්වය කළමනාකරණය සඳහා පූර්ණ වගකීම දරයි. මෙම පද්ධතිය මඟින් භෞතිකව රෝගීන් සමඟ ගැටීම අවම කරමින් රෝගීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සියලුම සෞඛ්‍ය නිලධාරීන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම ඩිජිටල් යාන්ත්‍රණයක් ලබාදෙයි. මෙහි නියාමක අදියර මෙම වසරේ ජුනි මස මුලදී කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ වූ අතර මේ දක්වා රෝගීන් 800කට අධික පිරිසක් පද්ධතිය හා ලියාපදිංචි වී තිබේ. මෙම ව්‍යාපෘතිය ජූලි 10 වැනිදා සිට බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල ආරම්භ වීමට නියමිත අතර නුදුරේදීම මෙය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇත.

භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන 1390 හදිසි ඇමතුම් සේවාව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා නොමිලේ වන අතර ඕනෑම ඇමතුම් ජාලයක් ඔස්සේ 1390 ඇමතිය හැක.

මෙහි ආරම්භය පිළිබඳ අදහස් දැක්වූ ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ‘‘කොවිඩ්-19 තුරන් කිරීමේ ජාතික ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා 1390 ජාතික ඒකාබද්ධ ගෘහස්ථ සත්කාර විසඳුම ආරම්භ කිරීම පිළිබද අප සතුටට පත්වෙනවා. ඇමතුම් මධ්‍යස්ථානයට පහසුකම් සැපයීම පිළිබඳ ලංකා බැංකුවටත්, අවශ්‍ය ජාල සම්බන්ධතා යටිතල පහසුකම් සැපයීම පිළිබඳ ඩයලොග් ආසිආටා සමාගමටත්, රෝගීන් කළමනාකරණ පද්ධතිය සංවර්ධනය පිළිබඳ වේව්නෙට් සමාගමටත් හා වෛද්‍යවරුන් අනියුක්ත කිරීම සහ මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් අප ඉමහත් කෘතඥතාව පළකර සිටිනවා. මෙම පාර්ශවයන්ගේ ඒකාබද්ධ ශක්තිය හා මෙම මූලාරම්භය වසංගත තත්වය පාලනය සඳහා රටේ දිගුකාලීන සැළසුම් වල ප්‍රගතියට මහත් පිටුවහලක් වනු ඇත’’යි යනුවෙන් සඳහන් කළාය.