Body

ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් ඩයලොග් සවිබලයෙන් රත්මලාන ශ්‍රවණ මධ්‍යස්ථානයේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ

මාර්තු 02, 2022         කොළඹ

 

Dialog Extends Free Hearing Tests

ඩයලොග් ආසියාටා සමාගම, රත්මලාන ශ්‍රවණ (Audiology) මධ්‍යස්ථානය සහ ලංකා අන්ධ සහ බිහිරි පාසල -රත්මලාන සමග එක්ව ශ්‍රවණ දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන නොමිලේ ශ්‍රවණ පරීක්ෂණ වැඩසටහන මාර්තු 3 වනදා සිට මාර්තු 16 දක්වා සිදු කිරීමට කටයුතු කර ඇත. සියලු ශ්‍රී ලාංකිකයින් වෙත විවෘතව ඇති මෙම සුවිශේෂී අවස්ථාව එම දිනයන්හි පෙ.ව 9 සිට ප.ව 4 දක්වා රත්මලාන බොරුපන පාරේ අංක 15 ස්ථානයේ පිහිටි රත්මලාන ශ්‍රවණ (Audiology) මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් හට 0117307308 අංකය ඇමතීමෙන් හෝ 0768 050 600 අංකයට කෙටි පණිවිඩයක් ලබා දීමෙන් නොමිලේ ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට අවකාශ උදා වේ.

ඩයලොග් ආසියාටා සහ ලංකා අන්ධ සහ බිහිරි පාසල එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස 2007 වසරේදී රත්මලාන ශ්‍රව්‍ය (Audiology) මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ ශ්‍රවණ හා කතන අපහසුතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ශ්‍රවණ හා කථන ප්‍රතිකාර පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුවය. මෙම පහසුකම පිහිටුවීම වෙනුවෙන් වන අරමුදල් සැපයීම ඩයලොග් සමාගම විසින් සිදු කළ අතර, නඩත්තු සම්බන්ධ වියදම් සහ ප්‍රාග්ධන වියදම් ද අඛණ්ඩව ආවරණය කරනු ලබන්නේ ඩයලොග් සමාගමයි. නවීන උපකරණයන්ගෙන් යුතුව අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය තුළින් ශ්‍රවණ පරීක්ෂණ, කථන ඇගයීම් මෙන්ම ශ්‍රවණ හා කථන චිකිත්සාව දැරිය හැකි මිලකට සපයා ගැනීමේ හැකියාව මහජනතාවට උදා වේ.

ලංකා අන්ධ සහ බිහිරි පාසල විසින් කළමනාකරණය කරනු ලබන මෙම මධ්‍යස්ථානය තුළින් එම විද්‍යාලයේ සිසුන් වෙත ශ්‍රවණ පරීක්ෂණ හා කථන චිකිත්සක සේවාවන් නොමිලේ සැපයීමද විශේෂත්වයකි. එසේම මෙම මධ්‍යස්ථානයේ සමාජ වගකීම් අනුව යමින් රජයේ ENT විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ ග්‍රාම නිලධාරීවරයකුගේ නිර්දේශයන් මත අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ශ්‍රවණ පරීක්ෂණ නොමිලේ පැවැත්වීමට පියවර ගෙන ඇත. ඊට අමතරව ඒ අවට ඇති රජයේ රෝහල් තුළදී අලුත උපන් දරුවන් සඳහා නව ජන්ම ශ්‍රවණ පිරික්සුම් පරීක්ෂණ නොමිලේ සිදු කිරීමටද කටයුතු කරනු ලබයි. එහිදී ප්‍රධාන වශයෙන් කලුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ පානදුර කේතුමතී මාතෘ රෝහල වෙත එම සේවාවන් ලබා දෙනු ලබයි. දිවයින පුරා අනෙකුත් බිහිරි විද්‍යාල සඳහාද සහයෝගය ලබා දෙන මෙම මධ්‍යස්ථානය තුළින් දෙමව්පියන්, බිහිරි විද්‍යාලයේ ගුරුවරුන් සහ උපදේශකයින් සඳහා නොමිලේ වැඩමුළු සංවිධානය කිරීමද සිදු කරනු ලබයි.

රත්මලාන ශ්‍රව්‍ය මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර www.giftofsound.lk වෙතින් ලබා ගත හැකිය.