Body

DOC990 සහ සිරිසඳ සමූප සුවසෙවණ සමූපකාර රෝහල එක්ව මහජනයාට

පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය සේවාවක් ඔවුන් අභියසටම ගෙනඑයි

ජූනි 10, 2021         කොළඹ

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ විධායක - ව්‍යාපාර සංවර්ධන තමරා රාජවර්ධන, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ කළමනාකාර - ව්‍යාපාර සංවර්ධන නවෝදා රත්නායක, ඩිජිටල් හෙල්ත් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෝමශ්‍රී සුබ්‍රමනියම්, නිට්ටඹුව - සිරිසඳ සමූපකාර රොහලේ සභාපති හේමන්ත නාගොඩවිතාන, නිට්ටඹුව - සිරිසඳ සමූපකාර රොහලේ අධ්‍යක්ෂ සුභාෂ් ඉරෝෂන්, නිට්ටඹුව - සිරිසඳ සමූපකාර රොහලේ අධ්‍යක්ෂ කල්‍යාණ වනිගසුන්දර.

ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) විසින් බලගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් සේවා සම්පාදකයා වන Doc990, පාරිභෝගිකයන්ට දිවයිනේ පිහිටි රෝහල් 132 කින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලසීම සඳහා ප්‍රමුඛ පෙලේ සමූකාර රෝහලකට සිය සහාය ලබාදෙමින්, සිරිසඳ සමූප සුවසෙවණ සමූපකාර රෝහල (සිරිසඳ සමූපකාර රෝහල) සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

දිවයිනේ ප්‍රධානතම සමූපකාර රෝහලක් වන සිරිසඳ සමූපකාර රෝහල නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර වර්ෂ 1998 දී අත්තනගල්ල බහුකාර්ය සමූපකාර සංගමය විසින් ආරම්භ කරන ලද්දකි. ගතවූ වසර කිහිපය තුළ මෙම රෝහල විසින් තමන්ට අත්‍යවශ්‍ය මොහොතේදී ලබාදුන් විශිෂ්ට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රෝගීන් ඇතුළු ඔවුන්ගේ ආදරණීයයන්ගෙන් රෝහලට යහපත් ප්‍රතිචාර සහ පැසසුම් හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් බලගන්වන Doc990 සේවාව භාවිත කරන පාරිභෝගිකයන්ට දැන් සිරිසඳ සමූපකාර රෝහල විසින් ලබාදෙන විවිධ සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ඉතා පහසුවෙන් වේලාවක් වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

පවතින වත්මන් තත්වය හමුවේ සිරිසඳ සමූපකාර රෝහල සමඟ ඒකාබද්ධව ලබාදෙන මෙම සේවාව තුළින් අරමුණු කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් විසඳුමක් හරහා රෝහලක් වෙත නොගොස් ඉතා පහසුවෙන් තමන්ට හමුවීමට අවශ්‍ය වෛද්‍යවරයෙකු සමඟ වෙලාවක් වෙන්කර ගෙන අදාළ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව සැලසීම තුළින් ඔවුන් සවිබලගැන්වීමයි. 990 අංකය ඇමතීමෙන්, www.doc.lk හෝ Doc990 ජංගම යෙදුම (Mobile App) හරහා වෛද්‍ය හමුවක් සඳහා වේලාවක් වෙන්කර ගත හැක. දිනෙන් දිනම පුළුල් වන සිය රෝහල් සේවා හා සෞඛ්‍ය සේවා ජාලය හරහා රටේ සෑම පුරවැසියෙකුටම ඉතා පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ අවස්ථාව සලසාදීම වෙනුවෙන් Doc990 සේවාව කැපවීමෙන් කටයුතු කරයි.