Body

ඩයලොග් සමාගම අඛණ්ඩව 11 වැනි වරටත් ගංගාරාමය නවම් මහ පෙරහැර වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි

2023 පෙබරවාරි 13         කොළඹදී

 

ඩයලොග් සමාගම අඛණ්ඩව 11 වැනි වරටත් ගංගාරාමය නවම් මහ පෙරහැර වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් රැකගනිමින් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් වූ සිය දීර්ඝ කාලීන කැපවීම තවදුරටත් සනාථ කරමින්, ගංගාරාමය නවම් මහා පෙරහැර සඳහා අඛණ්ඩව 11 වැනි වරටත් සිය අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ ගංගාරාමය විහාරස්ථානය, බෞද්ධයාගේ සුවිශේෂී දිනයක් වන නවම් පොහෝ දිනය සමරමින් වර්ෂ 1979 සිට සංවිධාන කිරීමට කටයුතු කළ නවම් පෙරහැර මෙවර පවත්වනු ලැබුවේ 44 වැනි වරටය. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම එම තනතුරේ පිහිටුවීමත්, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පළමු සංඝ සන්නිපාතයත් ආදී සුවිශේෂී සිදුවීම් මෙම නවම් පෝදා සිදුව තිබේ. එම උතුම් සිදුවීම් සමරනු ලැබූ නවම් පොහොය දිනයේ පවත්වනු ලැබූ මෙම පෙරහැර සඳහා වීථි සරසා තිබූ විචිත්‍රවත් විදුලි පහන්, වර්ණවත් ධජ, කස හඬ, ගිණිබෝල කරකවන්නන්, බෙර වාදකයන් ආදී නොයෙක් අපූර්වත්වයත් විඳගැනීම පිණිස මෙරට සෑම තරාතිරමක ජනතාව මෙන්ම විදෙස් සංචාරකයෝද පැමිණ සිටියහ.

ඩයලොග්, කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රමුඛතම පොදු ලැයිස්තුගත සමාගමක් වන අතර, ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් මහනුවර ඇසළ පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාමය ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි. මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව සිදුකෙරෙන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින් දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.