Body

ඩයලොග් අඛණ්ඩව 6 වැනි වරටත් කැළණිය දුරුතු මහා පෙරහැරට අනුග්‍රහය දක්වයි

January 23, 2022         Colombo

 

Dialog Supports Kelani Duruthu Maha Perahera for the 6th Consecutive Year

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා මෙන්ම කීර්තිමත් කැළණි දුරුතු මහා පෙරහැරේ දිගු කාලීන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ඓතිහාසික ශ්‍රී ලංකා ආගමනයේදී උන්වහන්සේගේ වැඩම කිරීම සමරමින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම සංස්කෘතික හා සම්ප්‍රදායික පහතරට සංදර්ශනය වන එම පෙරහැරට අඛණ්ඩව 6 වන වරටත් සිය දායකත්වය ලබාදුන්නේය. ලෝකප්‍රකට දුරුතු මහා පෙරහැර 2022 ජනවාරි මස 16 වැනිදා කැළණිය රජ මහා විහාර පරිශ්‍රයේදී පැවැත්විණි. කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කැළණිය දුරුතු මහා පෙරහැර ආරම්භ කෙරිණි.

ඩයලොග්, කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රමුඛතම පොදු ලැයිස්තුගත සමාගමක් වන අතර, ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයෙකු ලෙසින් ඩයලොග් සමාගම මහනුවර ඇසළ පෙරහැර, ගංගාරාම නවම් මහා පෙරහැර, බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය, කතරගම ඇසළ පෙරහැර, ගැටබරු ඇසළ පෙරහැර හා කෝට්ටේ රජ මහ විහාර පෙරහැර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි. මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පයන්ට අනුකූලව සිදුකෙරෙන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතික ඉතිහාසය නඟාසිටුවීමට දායකත්වය ලබාදෙමින් දිඹුලාගල ආරණ්‍ය සේණාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදීද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.