Body

ඩයලොග් ආසිආටා දෙවන වරටත් ‘Dream Music Fest’ ප්‍රසංගය බලගන්වයි

පෙබරවාරි 08, 2022         කොළඹදී

 

Dream Music Fest

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතාවයන්ගෙන් පිරි තරු රැසක් සමඟින් කිසිදා අමතක නොවන අපූර්වතම සංගීතමය අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරමින්, වසංගත තත්වයෙන් දැඩි බලපෑම් එල්ලවූ මෙරට ප්‍රසාංගික ක්ෂේත්‍රය යළි නගාසිටුවීමට උරදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ‘Dream Music Fest’ සංගීත ප්‍රසංගය සඳහා දෙවන වරටත් අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන ලදී.

පෙබරවාරි 06 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ එළිමහන් පරිශ්‍රයේ පැවති මෙම ප්‍රසංගය සඳහා මෙරට නම් දැරූ ජනකාන්ත සංගීත කණ්ඩායම් වන ජිප්සීස්, Daddy, 2Forty2, Doctor සහ Yohani with Lunu සංගීත කණ්ඩායම් සහභාගි වූ අතර වසර 50 කට අධික කාලයක් මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායම් අතර “ජීප්සීස්” නාමය රසික හදවත්වල සදා නොමැකෙන පරිදි සටහන් කිරීමට නායක්තවය දෙමින්, සිය හඬ පෞරුෂය හරහා ප්‍රසංග වේදිකාවේ ප්‍රබලතම ප්‍රාසාංගික තරුවක් වූ නැසීගිය සුනිල් පෙරේරා සංගීතවේදියාණන් සිහිකර, ඔහු වෙනුවෙන් විශේෂ උපහාර දැක්වීමක්ද සිදුකෙරිණි. මීට අමතරව චිත්‍රාල් සෝමපාල, භාතිය සහ සන්තුෂ්, සනුක වික්‍රමසිංහ, සේනක බටගොඩ, රයිනි චාරුකා සහ ජයශ්‍රී යන ගායන ශිල්පීන් ‘Dream Music Fest’ ප්‍රසංගය රසගැන්වූහ. විවිධ ශෛලීන් අනුගමනය කරන කලා ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් මෙන්ම පෙරදිග හා අපරදිග සංගීතයේ මනා සුසංයෝගයට තම නිර්මාණශීලී හැකියාවන් මුසු කරන සංගීතඥයන්ගේ සහ සංගීත කණ්ඩායම්හි අපූර්ව නිර්මාණ විඳගැනීමේ දුර්ලභ අවස්ථාව සෑම වයස් මට්ටමකට අයත් ප්‍රේක්ෂකයන්ට මෙහිදී අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය හා ටීවී දෙරණ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීතිරීති නිසි පරිදි අනුගමනය කරමින් ‘Dream Music Fest’ ප්‍රසංගය පැවැත්විණි. ප්‍රසංගය පැවති පරිශ්‍රය තරයේ විෂබීජහරණයට ලක්වූ අතර, ඇතුළුවන ස්ථානයන්හි ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද, දෑත් පිරිසිදු කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද නිසි අයුරින් සැලසිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමයේ සභාපති නිශාන් වාසලතන්ත්‍රි මහතා “ගෝලීය වසංගත තත්වයෙන් ඇතිවූ දැඩි බලපෑම් සහ අභියෝග සියල්ල ජයගෙන ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා සමස්ත සංගීත ක්ෂේත්‍රයට මෙන්ම අපටත් අඛණ්ඩව ලබාදුන් සහාය වෙනුවෙන් මම ඩයලොග් ආසිආටා සමාගමට අපගේ සංගමය වෙනුවෙන් ස්තුතිය පිරිනමනවා.ඒ වගේම දේශීය ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයට උපරිමයෙන් සහයෝගය ලබාදීමේ අරමුණින් අප හා එක්වූ සියලුම කලා ශිල්පීන්ට, සංගීත කණ්ඩායම්වලට සහ අවශ්‍ය තාක්ෂණික සහාය වෙනුවෙන් නිසි උපාංග සහනදායී මිලකට අපට ලබාදීමට ඉදිරිපත් වූ සේවා ආයතනවලටත් මම ස්තුතිවන්ත වෙනවා.”