Body

ඩයලොග් බලගන්වන Diriya.lk වෙතින් ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම ලබාගැනීමට අවස්ථාව

June 1, 2021         කොළඹ

 

news-1

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබලගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන www.diriya.lk වෙබ් අවකාෂය හඳුන්වාදෙන ලදී.මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් බලගන්වන Diriya.lk වෙබ් අවකාෂය, ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපාරික දැනුම, අවබෝධය, විශේෂඥ උපදෙස්, ක්ෂණිකව බාගත කළ හැකි අන්තර්ගතයන් සහ ව්‍යාපාරික සබඳතා ජාලයක් ගොඩනගා ගැනීමට උපකාරී වන පහසුකම්වලින් සමන්විත වේ. සිය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ආරම්භ කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ව්‍යාපාර කළමණාකරණ අවබෝධය සහ දැනුම ලබාදීම හරහා අතිශය තරගකාරී වර්තමාන ව්‍යාපාරික ලෝකයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ව්‍යවසායකයින්ව අභිප්‍රේරණය කිරීම සහ බලගැන්වීම, මෙම වෙබ් අඩවිය මඟින් සිදු කෙරේ.

සමාජ නවෝත්පාදන වැඩපිළිවෙලක් වශයෙන් ඩයලොග් ආයතනය විසින් Diriya.lk වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක දෙකක් වන - (8) පිළිගත් රැකියාවක් සහ ආර්ථික වර්ධනය හා (9) කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් සමඟ අනුගත වූ මූලාරම්භයක් ලෙසයි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ට සහ ගනුදෙනුකාර භවතුන්ට එම ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදෙමින්, රට තුළ නව ව්‍යාපාර බිහිකර ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් අතර ව්‍යවසායකත්ව මානසිකත්වයක් නිර්මාණය කිරීම, ඩයලොග් ආයතනයේ අරමුණයි.