Body

ඩයලොග් විසින් 93 වෙනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය බලගන්වයි

2023 පෙබරවාරි 17         කොළඹදී

 

Dialog Powers 93rd Battle of the Maroons

ඡායාරූපයේ වමේ සිට දකුණට: ආනන්ද විද්‍යාලයේ කණ්ඩායම් නායක නෙත්ම සමරවීර, ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් “සුලෝහිත සංග්‍රාමය” ඒකාබද්ධ කමිටුවේ සභාපති බිමල් විජයසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නිලධාරී - වැඩසටහන් කළමනාකරණ හා විදුලි සංදේශ යටිතල පහසුකම් - උපාලි ගජනායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අවදානම් සහ අනුකූලතා අංශයේ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන, නාලන්ද විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා, නාලන්ද විදුහල නියෝජනය කරමින් “සුලෝහිත සංග්‍රාමය” ඒකාබද්ධ කමිටුවේ සභාපති වරුණ රත්නවීර, නාලන්ද විදුහලේ කණ්ඩායම් නායක චනුල් අතුකෝරළ.

මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් සංග්‍රාමයේ 93 වෙනි දිගහැරුම 2023 මාර්තු 4 සහ 5 දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් ගෝලීය වසංගත තත්වයත් සමඟ විවිධ සීමා පැනවීම් ක්‍රියාත්මක වූ වසර දෙකක කාලයකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධයෙන් සීමා පනවා නොමැති මෙවර සුලෝහිත සංග්‍රාමය,ඒ අනුව සුපුරුදු ක්‍රීඩාංගණයේදී විද්‍යාලයීය ආදි සිසුන් සහ වත්මන් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරේ පැවැති සුලෝහිත සංග්‍රාමය නාලන්දයට සුවිශේෂී වූ අතර ඒ අනුව වසර 69කට පසු නාලන්දය වෙනුවෙන් සුලෝහිත සංග්‍රාමයක ජයග්‍රහණය එහිදී ලියැවෙමින් ආචාර්ය එන්. එම් පෙරේරා පළිහ ඔවුන් සතු විය.

මේ අතර දිවංගත පී.ඩී.එස් කුලරත්න පළිහ වෙනුවෙන් 46 වෙනි වරටත් දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය 2023 මාර්තු 12 වැනිදා එස්.එස්.සී පිටියේදීම පැවැත්වීමට යෙදී තිබේ. එම තරග ඉතිහාසයේ වැඩි ගෞරව දිනා සිටින ආනන්ද විදුහල ජයග්‍රහණ 26 ක් වාර්තා කර ඇති අතර නාලන්ද විදුහල ජයග්‍රහණ 15 ක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

93 වැනි සුලෝහිත සංග්‍රාමය Dialog Television නාලිකා අංක 140, ThePapare.com සහ Dialog ViU app ඔස්සේද සජීවීව විකාශය වනු ඇත.

මෙම වසරේ සුලෝහිත සංග්‍රාමයේදී ආනන්ද කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තුන්වන වසරේ වර්ණලාභී / දකුණත් වේග පන්දු යවන්නෙකු වන නෙත්ම සමරවීර විසින් වන අතර නාලන්ද කණ්ඩායමේ නායකත්වය දකුණත් පිතිකරුවෙකු සහ සිව්වෙනි වසරේ වර්ණලාභියෙකු වන චනුල් අතුකෝරළට පැවරී තිබේ.

ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ක්‍රීඩකයන් බිහිකිරීමේ ගෞරවය හිමිවන අතර, මේ දක්වා 55කට අධික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් පිරිසක් දෙවිදුහල් විසින් මේ දක්වා බිහිකිරීමට සමත්ව ඇත.නැසීගිය බන්දුල වර්ණපුර මෙන්ම අර්ජුණ රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් යන ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයන් ඒ අතර වේ.

ඒ අනුව මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර නාලන්දාවෙන් බිහිවෙද්දී, 1996 ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකරදුන් නායක අර්ජුණ රණතුංග ආනන්දයෙන් බිහිවීම කැපී පෙනෙයි.

සුලෝහිත සංග්‍රාම දෙදින තරග ඉතිහාසයේ වැඩි ජයග්‍රහණ හිමිකරගැනීමට සමත්ව සිටින ආනන්ද විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන අතර, නාලන්ද විද්‍යාලය තරග 7ක ජයග්‍රහණ වාර්තා කර ඇත. ඒ අතරවාරයේ තරග 73 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.