Body

ඩයලොග් ජාතික පැරාලිම්පික් කමිටුව වෙත ලබාදෙන අනුග්‍රාහකත්වය තවදුරටත් දීර්ඝ කරයි.

March 02, 2022         Colombo

 

Deepal Herath, receiving the sponsorship from Amali Nanayakkara

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා වෙත නිල වශයෙන් අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. ජාතික පැරාලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික - දිලිනි වාරියපොළ මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර මහතා සහ එම කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා ද ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට පැරා ක්‍රීඩා සඳහා ලබාදුන් අනුග්‍රාහකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් දශක දෙකකට අධික කාලයක සිට ජාතික පැරාලිම්පික් කමිටුව සමඟ පැවති සහයෝගීතාවය තවත් වසර 2 කින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ජාතික පැරාලිම්පික් කමිටුවට පළමුවරට අනුග්‍රහය දැක්වීමට කටයුතු කර ඇත්තේ 2000 වසරේ සිට වන අතර, පසුගිය වසර 22 පුරාවට යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය සහ ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන මෙරට පැරා ක්‍රීඩකයන් බලගැන්වීමට නිබඳවම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමින් අඛණ්ඩව දක්ෂතා දක්වා ඇති අතර, 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී ටී46 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ අංශයෙන් තරග කළ දිනේෂ් ප්‍රියන්ත මීටර් 67.79 ක දක්ෂතාවයක් පෙන්නුම් කර, ලෝක වාර්තාවක්ද බිඳහෙලමින් ශ්‍රී ලංකාවට ප්‍රථම රන් පදක්කම දිනා දුන්නේය.ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඔහුගේම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සමිත දුලාන් කොඩිතුවක්කු ක්‍රීඩකයාද එම තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ අංශයෙන් එෆ්64 කාණ්ඩයෙන් තරග කරමින් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන්නේ සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වූ මීටර් 65.61 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

ප්‍රදීප් සංජය ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම දිනාදුන් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වන අතර, 2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 ධාවන ඉසව්වේදී තත්පර 49.28 ක කාලයක් වාර්තා කරමින් ඔහු ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

“ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයින් මැනවින් සිය දක්ෂතා පෙන්නුම් කරමින් මේ වන විට ඉතාම සාර්ථක ගමනක් ඇවිත් තිබෙනවා.2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී අප ලද ජයග්‍රහණ ඊට කදිම උදාහරණයක්,” ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ අප සමඟ එක්වී අපේ පැරාලිම්පික් ක්‍රීඩකයන් පිළිබඳව විශ්වාසය තබමින්, ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ අත්කරගැනීමට ඔවුන්ට සහයෝගය ලබාදීම ගැන ඩයලොග් ආසිආටා සමාගමට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරි අනාගතයේ සාර්ථකත්වය වෙනුවෙනුත් ඩයලොග් අප හා එක්වීම මහත් ගෞරවයක් වශයෙන් අපි සලකනවා.”

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.