Body

ඩයලොග් එන්ටප්‍රයිස් 2022 ජාතික කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය බලගන්වයි

Dialog Finance සහ Genie නිල ගෙවීම් සහ Fintech පාර්ශවකරුවන් වශයෙන් එක්වෙයි

ජනවාරි 28, 2022         කොළඹදී

 

Mr. Navin Pieris, handing over the Title Sponsorship confirmation to Mr. Upasena Dissanayake

ඡායාරූපය: ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරීස් මහතා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා වෙත තේමා අනුග්‍රාහකත්වය සංකේතවත්ව පිරිනැමූ අවස්ථාව.කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි නැගී එන ව්‍යාපාර අංශයේ ප්‍රධානී චන්න අමරසේකර මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී -සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා ඇතුළු පිරිසද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණපාන අභියෝගකාරී වටපිටාව තුළ ඔවුන්ව නගා සිටුවීමට අත්වැලක් සැපයීමේ අරමුණ පෙරදැරිව ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) 2022 ජාතික කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය සඳහා තේමා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම Dialog Finance හා Genie එක්ව මේ සඳහා ගෙවීම් හා FinTech අනුග්‍රාහකයන් ලෙසද සහයෝගීතාවයට එළඹීම තවත් විශේෂත්වයකි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන මෙම වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 වෙනිදා සිට 06 වෙනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා නිෂ්පාදන, වෙළඳ, ඉදිකිරීම් සහ තවත් බොහෝ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ව්‍යවසායකයින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහභාගි වේ. අතිගරු ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වන අතර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා, කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා සහ ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්‍ය ගරු ඒගස් ගුමිවෑං කර්තාසස්මිතා මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්වීමට නියමිතයි.

මේ සුවිශේෂී අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා," කොවිඩ් - 19 න් බිඳවැටුණු රටේ ආර්ථිකය නැවත පණගන්වන ක්‍රියාවලිය තුළ මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට යළි සිය ව්‍යාපාර ගොඩනැංවීමට අතහිත දෙමින් සහායවීම මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය වැදගත් කාර්යභාරයක්. පශ්චාත් කොවිඩ් කාලසීමාව හමුවේ රටේ ආර්ථිකය නැවත පණගන්වන ක්‍රියාවලිය සඳහා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට හැකිවන පරිදි ඔවුන් දිරිගන්වා බලගැන්වීම අපේ අරමුණයි. ගෝලීය වසංගත තත්වයෙන් එල්ලවූ බලපෑම් සහ අභියෝග ජයගැනීමට නම් රාජ්‍ය සහ පෞද්ගලික යන අංශයන් දෙකම එක්ව සහයෝගයෙන් ඊට දායකවිය යුතුයි.ඒ වෙනුවෙන් පෙරට එමින් අපගේ ජාතික වෑයම වෙනුවෙන් සහායදීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මම ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) ආයතනයටත්, Dialog Finance සහ Genie ආයතනවලටත් මගේ ස්තුතිය පිරිනමා සිටිනවා. එමෙන්ම ඉදිරියේදීත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේද පූර්ණ ශක්තිය සමඟ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයටත් (Dialog Enterprise), Dialog Finance සහ Genie ආයතන හා එක්ව මේ දැවැන්ත වැඩපිළිවෙල දීර්ඝකාලීනව ක්‍රියාවට නැංවීමට අපි අපේක්ෂා කරනවා.”

ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරීස් මහතා මෙසේ පැවසීය “නිරතුරුවම නව නිෂ්පාදන ගැන අවධානය යොමු කරමින් ඒ සඳහා පවතින අවස්ථා පිළිබඳ මනා විමසිලිභාවයකින් පසුවන හේතු නිසාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මේ රටේ ආර්ථිකයේ ප්‍රමුඛ පාර්ශවකරුවන් පිරිසක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන්. ගෝලීය වසංගත තත්වයක් හමුවේ වුවත් අපේ රටේ ආර්ථිකය නැවත පණගැන්වමින් එය වඩා යහපත් මට්ටමකට ගෙන ඒමේ ක්‍රියාවලිය තුළ ඔවුන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරනවා. කුඩා පරිමාණයේ ව්‍යාපාරික කටයුතුවල ක්‍රියාවලිය වේගවත් කරමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අතහිතදීම වෙනුවෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව ජාතික කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවයේ තේමාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳවත්, වත්මන් තත්වය තුළ මෙරට හොඳම ඩිජිටල්කරණ සේවාවන් හරහා සිය ව්‍යාපාරික කටයුතු පරිවර්තනයකට ලක් කිරීමට ඔවුන්ව බලගැන්වීමට හැකිවීමත් අපට විශාල සතුටක්. ශ්‍රී ලංකාවේ සෑම පරිමාණයකටම, සෑම ක්ෂේත්‍රයකටම අයත් ව්‍යාපාරයන්ට පහසුකම් සලසමින් ඒවා සවිබලගන්වන්නට ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය (Dialog Enterprise) ඉදිරියේදීත් ඇප කැප වෙනවා.”

“කොවිඩ් පසුබිමක් තුළ ඩිජිටල් තාක්ෂණයේ භාවිතයට විශාල වැදගත්කමක් සහ වටිනාකමක් හිමිව තිබෙනවා. ඒ හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ශීඝ්‍රයෙන් වෙනස් වන නූතන ලෝකයේ අවශ්‍යතාවයන්ට හැඩගැසීමට අවස්ථාව උදා කරනවා. ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වර්තමානයේ සාර්ථකව නැගී සිටීමට අතහිත දීම වෙනුවෙන් වන සාමූහික ප්‍රයත්නය බලගන්වමින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙම වැඩපිළිවෙලට නිල ගෙවීම් පාර්ශවකරු සහ FinTech පාර්ශවකරු වශයෙන් එක්වීමට හැකිවීම පිළිබඳව Dialog Finance සහ Genie ආයතන අතිශයින් සතුටු වෙනවා.අද දවසේ සැබැවින්ම ඩිජිටල් අනාගතයක අත්දැකීම ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට ව්‍යවසායකයින්ට පහසුවෙන් ලබාගත හැකි FinTech විසඳුම් සැලසීමට FinTech විසඳුම් හි ප්‍රමුඛයෙකු වන Dialog Finance සහ Genie කැපවීමෙන් කටයුතු කරනවා.” යැයි Dialog Finance හි සභාපතිනිය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ඩිජිටල් සේවා නිලධාරී රේණුකා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.