Body

ඩයලොග් පාරිභෝගිකයන් Star Points හරහා රුපියල් මිලියන 27 කට වැඩි පරිත්‍යාගයක් 2021 දී ‘Little Hearts’ වෙත සිදුකරයි

‘Little Hearts’ වෙනුවෙන් 2016 වසරේ සිට පරිත්‍යාග කර ඇති Dialog Star Points වටිනාකම රු.මිලියන 95 ඉක්මවයි

මාර්තු 11, 2022         කොළඹදී

 

Dialog Customers Donate Over Rs. 27 Million via Star Points to Little Hearts

ඡායාරූපයේ වමේ සිට දකුණට: මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහනේ - ව්‍යාපාර සංවර්ධන කළමනාකාර - ෂෝන් වැන්ඩර්වෝල් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ Loyalty වැඩසටහන සහ උපාංග ව්‍යාපාර සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - අයෝමාල් ගුණසේකර මහතා, Little Hearts ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා සහ ටීවී දෙරණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා.

හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතුවලට ශක්තියක් වනු පිණිස රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් 300,000 කට වැඩි ඩයලොග් පාරිභෝගිකයන් විසින් Star Points හරහා රු. මිලියන 27 කට වැඩි පරිත්‍යාගයක් ‘Little Hearts’ ව්‍යාපෘතිය සඳහා සිදුකර තිබේ. 2016 වසරේ සිට ඩයලොග් පාරිභෝගිකයින් විසින් Star Points හරහා ‘Little Hearts’ ව්‍යාපෘතිය වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙන මුදල රු.මිලියන 95 කට අධිකය.

‘Little Hearts’ ව්‍යාපෘතිය ඇතුළු තමන් කැමති තවත් ඕනෑම සමාජ සද්කාර්යක් සඳහා තම Star Points පරිත්‍යාග කර සහායවීමට ඩයලොග් සමාගම මිලියන 17 කට අධික සිය පාරිභෝගිකයන් දිරිමත් කරන ලදී.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන ‘Little Hearts’ ව්‍යාපෘතිය තුළින් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත නව ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 කින්, කැතීටකරණ විද්‍යාගාරයකින්, 100 කට අධික හෘද, වෛද්‍ය සහ නව උපත් දැඩි සත්කාර ඇඳන් ඒකකවලින්,ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයකින් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වනු ඇත.මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 2 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘Little Hearts’ සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ඩයලොග් ආසිආටා පීඑල්සී වෙනුවෙන් එහි ප්‍රකාශකයෙකු මෙසේ සඳහන් කළේය," රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිත නව හෘද හා දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් තම Star Points පරිත්‍යාග කරමින් ඒ වෙනුවෙන් සහායවීමට ඉදිරිපත්වීම පිළිබඳව අපේ ඩයලොග් පාරිභෝගිකයන්ට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම කවර ආකාරයක හෝ හෘද රෝගයකින් පීඩා විඳින දරුවෙකුට ඒ සම්බන්ධයෙන් වන හොඳම ප්‍රතිකාර ලබාදිය යුතු බව අප නිරතුරුව විශ්වාස කරන අතර මෙවැනි සද්කාර්යක් වෙනුවෙන් නිසි පාර්ශවයන් එකට ඒකරාශී කරගැනීමට අවස්ථාව හිමිවීම මහත් ගෞරවයක් වශයෙන් අපි සලකනවා.”

“Little Hearts සද්කාර්ය සමඟ එක්ව සිය පාරිභෝගිකයන්ට මෙවැනි ජාතික ව්‍යාපෘතියකට සිය Star Points පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා සමාගමට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.මෙවැනි පරිත්‍යාගයක් කරමින් මේ සමාජ සද්කාර්ය යථාර්ථයක් බවට පත්කරගන්නට කටයුතු කළ සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ටත් මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ මම පරිත්‍යාගය නොවන්නට අපේ රටේ විශේෂ දරුවන් පිරිසකගේ ජීවිත වෙනස් කරන්න අපිට අවස්ථාවක් උදාවෙන්නෙ නැහැ. මහජනයාගේ දායකත්වයෙන් අරමුදල් එක් රැස් කරගනිමින් ජාතික කර්තව්‍යයකට උරදීම සම්බන්ධයෙන් Star Points කදිම උදාහරණයක්.මේ ආකාරයේ ජාතික කර්තව්‍යයක් හරහා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දෙස වෙනස්ම කෝණයකින් බලන්න අවස්ථාව හිමිවේවි.” යැයි Little Hearts ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ඩයලොග් පාරිභෝගිකයන් Little Hearts ව්‍යාපෘතියට අමතරව Trail, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානය, Helpage Sri Lanka, My Friend, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, Atlas සිප් සවි, CCC පදනම සහ Ayati Trust ඇතුළු ආයතන හා සංවිධාන සඳහාද පරිත්‍යාග සිදුකර තිබේ.