Body

ඩයලොග් ආසිආටා සහ මනුසත් දෙරණ එක්ව රෝහල් සඳහා අත්යවශ්ය උපකරණ සහ හුදකලා කළ ප්රදේශවල ජනතාවට වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කරයි

මැයි 21, 2021        කොළඹ

 

news-1

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් IDH රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෙත රෝහලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාව.

news-1

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතයේදී හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි හට රෝහලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාව.

මෙරට ජනතාවට පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, ඔවුන්ට සහායවීම සදහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ටීවී දෙරණ සමඟ එක්ව රෝහල් සඳහා අත්යවශ්ය උපකරණ සහ හුදකලා කළ ප්රදේශවල ජනතාවට වියළි ආහාර මළු බෙදාදීම වෙනුවෙන් ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක‍්‍රියාන්විතයේ’ තෙවන අදියර පසුගියදා ආරම්භ කරන ලදී.

මෙම ක්‍රියාන්විතය කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්වයෙන් මතුවිය හැකි අහිතකර බලපෑම් පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට සහායවීම වෙනුවෙන්, ඩයලොග් විසින් ක්‍රියාවට නංවන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනකි. මැයි 18 දා ආරම්භ වූ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ තෙවන අදියර සති දෙකක් පුරාවට ක්‍රියාත්මක වේ. මේ යටතේ දිවයිනපුරා පිහිටි රෝහල්වල කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යභාරයන් බාධාවකින් තොරව පවත්වාගෙන යමින් රෝගීන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ පහසුකම් සලසනු ලැබේ. මීට සමගාමීව හුදකලා කළ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට වියළි ආහාර මළු බෙදාදිමටද කටයුතු කෙරේ.

කොවිඩ් - 19 පළමු හා දෙවන රැල්ලේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය මේ හා සමාන ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. සති 6 ක් පුරා ක්‍රියාත්මක වූ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කෙරිණි. දෙවන අදියර යටතේ දින 22 කදී, දිස්ත්‍රික්ක 10 ක පීඩාවට පත් 46,000 ක පිරිසකට සහන සැලසීමට හැකිවිය.

රටේ සියලුම පුරවැසියන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ කාර්ය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.

‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දැක්වූ IDH රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක “මෙවැනි අවස්ථාකදී අප රෝහලේ දෛනික කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සහ රෝහලේ සනීපාරක්ෂක කටයුතු නිසි අයුරින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය පහසුකම් අප රෝහලට ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතය අපි බෙහෙවින්ම අගය කරනවා. මෙරටින් කොවිඩ් - 19 පිළිබඳව තොරතුරු වාර්තාවීමට පටන්ගත් කාලයේ සිටම ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතය හරහා අවස්ථා ගණනාවකදීම අපට අවශ්‍ය සහාය නොමඳව ලබාදී තිබෙන අතර, රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ මෙහෙයුමට එම දායකත්වය අතිශයින් වැදගත් වුණා. එපමණක් නොවෙයි ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතය අප රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම රෝගීන්ගේ සිත් සතන්වලට නව ජීවයක් එක් කිරීමට සමත් වුණා”.

රට තුළ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තවීමට පටන්ගත් මුල් අවධියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු.ලක්ෂ 2000ක් ලබාදීමට ඩයලොග් ආයතනය එකඟතාවය පළ කරන ලදී. එම එකඟතාවය යටතේ මීගමුව මහ රෝහලට සහ හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් සමන්විත පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුත් දැඩි සත්කාර ඒකක ස්ථාපිත කරදීමට ඩයලොග් ආයතනයට හැකිවිය. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් සිය සේවාවන් සලසන ප්‍රජාවට ඔවුන්ට පිළිසරණක් අවශ්‍ය වන සෑම මොහොතකම නොපැකිළිව ඉදිරියට පැමිණ සහායවීමට ඩයලොග් ආයතනය කටයුතු කර තිබෙන අතර, රටක් වශයෙන් කොවිඩ් - 19 පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සාමූහික මෙහෙයුම සාර්ථක කරගැනීමට සිය ශක්තිය නොමදව ලබාදෙයි.