Body

කොවිඩ්-19 වසංගතය මැඩලීමේ නිරත සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල වෙත ඩයලොග් ආසිආටා සිය ගෞරවය පුදයි

'සුවදිරි' සන්නිවේදන පහසුකම පිරිනමයි

සැප්තැම්බර් 26, 2021         කොළඹ

 

Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC exchanging the MOU with Dr. S.H. Munasinghe, Secretary, Ministry of Health

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාඅංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරුකරගත් අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාඅංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 සෞඛ්‍ය අමාත්‍යංශ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් කෝවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට සත්කාර කරමින්, තම ජීවිත අවදානමද නොතකා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යමණ්ඩල මෙම වසංගතය මැඩලීම පිණිස වන ජාතික කාර්යභාරය උදෙසා දෙනු ලබන සහය වෙනුවෙන් ගෞරව පුදමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහාම වූ ‘සුවදිරි’ නම් ගාස්තුවෙන් නිදහස් සන්නිවේදන පහසුකම දියත් කරනු ලැබීය.

කොවිඩ්-19ට ප්‍රතිචාර දැක්වීමේ නිරතව සිටින සියලු සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විසින් ගනු ලබන එකී උත්සහය ඇගයීම වෙනුවෙන් තවදුරටත් සහයක් වෙමින් ඔවුන් විසින් ඉටුකරනු ලබන එකී කාර්යභාරය අතරතුර සිය පවුල් සහ ආදරණීයන් සමඟ සබඳතාවන් පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙම ‘සුවදිරි’ සන්නිවේදන පහසුකම පිරිනමනු ලබයි. .‘සුවදිරි’ පහසුකම වෙතින් මාසයක් සඳහා D2D මිනිත්තු 1000ක්, D2D SMS 1000ක් සහ 6 GB Anytime Data බැඟින් වන සන්නිවේදන සේවා මාස 3ක කාලයකට නොමිලේ පිරිනැමෙන අතර, දිවයිනේ සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ලද සෑම සෞඛ්‍ය සේවකයෙක්ටම මෙම පහසුකම හිමිවන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 කළමනාකරණ කමිටුව විසින් මෙය කළමනාකරණය කෙරෙනු ඇත.

වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 සෞඛ්‍ය අමාත්‍යංශ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙහිදී අදහස් දක්වමින් “ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් තුමන්, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා වෙනුවෙන්, මෙම වසංගත තත්ත්වය ඇරඹුණු දා පටන් අපත් සමග පුරෝගාමී හවුල්කරුවකු ලෙසින් රැඳී සිටි ඩයලොග් ආසිආටා වෙත අපගේ හදපිරි කෘතඥතාව පළකරනවා. ඩයලොග් සමාගම, වෛද්‍ය යටිතල පහසුකම්, වෛද්‍ය උපකරණ රාශියක් පිරිනමමින් රොගී සත්කාරක කටයුතු වෙනුවෙන් විශිෂ්ට සහය දැක්වීමක් සහ උපකාර කිරීමකින් ඔබ්බට ගොස්, මෙම ‘සුවදිරි’ සම්බන්ධතා පහසුකම හරහා, වසංගතය මධ්‍යයේ වෙහෙස නොබලා, අවදානම හමුවේ කටයුතු කරමින් සිටින අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිගන්වමින් ඔවුන්ගේ සුබසාධනයට සහය දක්වනු ලබනවා.” යි පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා “කොවිඩ් -19 වසංගතය හමුවේ වෙහෙස නොබලා සටන් කරමින් සිටින දිවයින පුරා වන සෞඛ්‍ය සේවකයින්ට අපගේ ප්‍රණාමය පුද කිරීම සඳහා අපි ‘සුවදිරි’ නම් ගාස්තුවෙන් නිදහස් සන්නිවේදන පැකේජය දියත් කළ අතර අපගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ සුව කිරීම වෙනුවෙන් ඔවුන්ගේ වන නොපසුබට උත්සහයට හෘදයාංගම ස්තූතිය පුද කරනවා. අපි වර්තමානයේ මුහුණපාන අභියෝග නොතකා, සියලුම ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම හා නොපසුබට උත්සාහයට අපගේ කෘතඥතාවය පළකර සිටිනවා. එසේම ඔවුන් විසින් ගනු ලබන මෙම වෑයමේදී ඔවුන් සමඟ රැඳෙමින් සබඳතාවේ සහ තාක්ෂණයේ සවියෙන් ඔවුනට සහයවීමට අප නිබඳවම කටයුතු කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

එන්නත්කරණ මධ්‍යස්ථාන, අතරමැදි මධ්‍යස්ථාන හා කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා නොමිලේ අන්තර්ජාල සම්බන්ධතා සැපයීම, මහජන‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ගාස්තු රහිත සම්බන්ධතා මගින් ඇගයීම ආදියද ඇතුළත්ව වසංගත තත්වය අතරතුර ජාතික සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන්ට සහායවීම සඳහා ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මේ ආකාරයේ වැඩසටහන් රාශියක් අනුව යමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.