Body

ඩයලොග් ආසිආටා සියලු ශ්‍රී ලාංකිකයින්ව ගැලපෙන ඩිජිටල් පහසුකම්වලින් සවිබලගැන්වීම සඳහා GSMA සහාය තාක්ෂණික වැඩසටහන සමඟ එක්වෙයි.

ජනවාරි 11, 2022         කොළඹදී

 

Dialog Axiata Joins GSMA Assistive Tech Programme to Drive Digital Inclusion for All Sri Lankans

පුද්ගල හැකියාවන් සම්බන්ධයෙන් පවතින සීමාවන් නොසලකා හරිමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ව ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීම වෙනුවෙන් සිය කැපවීම ඉදිරියට ගෙනයමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආබාධ සහිත පුද්ගලයන්ට ජංගම දුරකතන සන්නිවේදන පහසුකම් භාවිතයට වැඩි අවස්ථාවක් විවර කර, ඔවුන්ව සමාජීය හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමේ අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් GSMA ආයතනය (ජංගම සන්නිවේදන සේවා සමාගම් හි ගෝලීය වාණිජ සංගමය) සමඟ එක්ව තිබේ.

මෙරට සියලුම පුරවැසියන්ට ස්වාධීනව ජීවත් වීමට මෙන්ම ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම දායක කරගත හැකි අයුරින් තාක්ෂණය හා සම්බන්ධවීම මෙවැනි යුගයක වැදගත් දෙයක් බවට පත්ව තිබේ. එම අවශ්‍යතාව හා සැසඳෙන සේ නවෝත්පාදනයන් හරහා ප්‍රවේශවීම මෙන්ම රටේ සමාජ ආරක්ෂාව නැංවෙන පරිදි උපකාරක තාක්ෂණයන් හා සේවා උසස් කිරීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබයි.මේ අතරින් වඩාත් කැපී පෙනෙන සේවාවන් ලෙස රත්මලාන Audiology මධ්‍යස්ථානය (RAC) හා යාපනය කථන චිකිත්සක මධ්‍යස්ථානය (Jaffna Speech Therapy Centre) පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැක. මෙම ආයතන මගින් අඩු ආදායම්ලාභීන්ට මෙන්ම ශ්‍රව්‍යාබාධිත පාසල් දරු දැරියන්ට ශ්‍රවණ හා කථන ගැටලු වෙනුවෙන් නොමිලේ සේවාවන් සලසනු ලබයි. මෙවැනිම තවත් ව්‍යාපෘතියක් වන ‘Petralex’,පාරිභෝගිකයාගේ සාමාන්‍ය රැහැන් සහිත හෝ Bluetooth Headset උපකරණ සිය අවශ්‍යතාව අනුව ශ්‍රවණ ආධාරකයක් ලෙස භාවිත කිරීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන යෙදුමකි.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳ මෙසේ අදහස් දක්වන ලදී. “ඩිජිටල් පහසුකම් අන්තර්ගත මේ මූලධර්මයන් හා සමඟ අපි සම්බන්ධ වන්නේ හේතු කිහිපයක් නිසයි. අපගේ මූලික සේවාවන්ට අනුකූල වෙමින් ශ්‍රවණය, දෘෂ්ටිය හා කථනය පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා.එසේම ආබාධිත පුද්ගලයන්ට ඩිජිටල් සන්නිවේදන පහසුකම් ලබාදීම පමණක් නොව, ඔවුන් ඩිජිටල්මය වශයෙන් සක්‍රිය පුද්ගලයන් බවට පත්කිරීම සම්බන්ධයෙන්ද අප විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා. අප GSMA ආයතනය සමඟ වසර ගණනාවක් මුළුල්ලේ අන්තර්ගතයන් ඉලක්කකොට ගත් ව්‍යාපෘති හා සම්බන්ධ වෙමින් කටයුතු කර තිබෙන අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකත්වය හා ඒකරාශීවීමේ බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. එම නිසා සමාජයේ සිටින ආබාධිත පුද්ගලයින් සමඟ වඩා හොඳ සම්බන්ධතාවයක් ඇතිකර ගන්නට මෙම මූලධර්ම හා ඒ පසුපස සිටින සමාගමක් වශයෙන් GSMA ආයතනය, අපට මඟ පෙන්වන බව අපගේ විශ්වාසයයි.”

ඩයලොග් ආයතනය සමඟ මෙම ව්‍යාපෘතිය සඳහා එක්වීම පිළිබඳව සතුට පළ කරමින් අදහස් දැක්වූ GSMA ආයතනයේ Connected Women and Connected Society හි ප්‍රධානී ක්ලෙයාර් සිබ්තෝර්ප්, “ආබාධ සහිත පුද්ගලයින් මුහුණදෙන බාධක ඉවත් කිරීමට සියලු පාර්ශවකරුවන්ගෙන් දැනුවත් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. සන්නිවේදනයේ ශක්තිය විදහා දක්වමින් සමාජයේ සියලු ජන කොටස් සන්නිවේදන සේවාවන් ලබාගැනීමට පෙළඹෙන අයුරින්, ජංගම දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය අවශ්‍ය පියවර ගතයුතු කාලය එළඹ තිබෙනවා. අන්තර් සබඳතා පුළුල් කරමින් සියලුදෙනාගේ යහපත හා සුබ සිද්ධිය උදෙසා ඩයලොග් ආසිආටා පීඑල්සී, Optus, Orange Group, Safaricom PLC, Telefónica Group, Turkcell, Vodacom South Africa සහ Zain Group වැනි ආයතන දැනටමත් අපගේ මූලධර්ම හා සම්බන්ධවීම පිළිබඳව මම අතිශයින් සතුටු වෙනවා. ඒ වගේම තවත් බොහෝ කර්මාන්ත ඉදිරියේදී අප සමඟ එක්වනු ඇතැයි මම අපේක්ෂා කරනවා.”

GSMA සහායක තාක්ෂණික වැඩසටහන මගින් ආබාධ සහිත පුද්ගලයන් වැඩි වැඩියෙන් ඩිජිටල් ක්‍රියාවලියට ඇතුළත් කරගැනීමට බලාපොරොත්තු වන අතර, ආබාධ සහිත පුද්ගලයන්ව ජංගම දුරකතන තාක්ෂණයෙන් බලගැන්වුණු නිෂ්පාදන හා සේවා භාවිතයෙන් ඈත් කරවන හේතු හඳුනාගැනීමට සමත් මූලධර්ම සහ නිර්දේශිත ක්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙලක් ජංගම දුරකතන සේවා පහසුකම් සලසන සමාගම් වෙනුවෙන් සකස් කර ඇත.