Body

ISO 14001:2015 සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ පළමු Quad Play විදුලි සංදේශ සේවා ආයතනය බවට ඩයලොග් ආසිආටා පත්වෙයි

ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සමඟින් තිරසර අනාගතයක් වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි

July 27, 2021         Colombo

 

news-1

සමාජ, ආර්ථික සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම යළි යළිත් සනාථ කරමින් මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ පාරිසරික කළමනාකරණ පද්ධතියට සිය සමස්ත මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO 14001:2015 තත්ව සහතිකය හිමිකරගැනීමට සමත්ව තිබේ. ඒ සමඟම මෙම තත්ව සහතිකය හිමිකරගත් මෙරට පළමු Quad Play විදුලි සංදේශ සේවා සැපයුම්කරු (ජංගම, ස්ථාවර, මාධ්‍ය හා බ්‍රෝඩ්බෑන්ඩ්) බවට ඩයලොග් සමාගම පත්විය. ISO 14001 ප්‍රමිතිය යනු තම කැපවීමෙන්ම සිය ආයතන හරහා ඵලදායී පරිසර කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම පිණිස අර්ථවත් පාරිසරික ප්‍රතිපත්ති ගොඩනගා ස්ථාපිත කරන සමාගම්වලට පිරිනැමෙන ජාත්‍යන්තර මට්ටමේ සහතික කිරීමකි. එම තත්ව සහතිකය පිරිනැමීමේදී සැලකිල්ලට ගැනෙන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා වාර්ෂිකව ස්වාධීන සමාලෝචනයක් හා විගණනයක්ද සිදුවෙයි. වෙනත් ISO ප්‍රමිති තත්වයන් මෙන් මෙම ප්‍රමිති තත්වයද ජාත්‍යන්තර පිළිගැනීමක් ලද විශේෂඥ මණ්ඩලයක් විසින් වරින් වර සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලබයි.

ඩයලොග් සමාගමේ ප්‍රතිපත්තිවල ‘තිරසරබව’ සඳහා සුවිශේෂී වැදගත්කමක් හිමිව තිබේ. පරිසර හිතකාමී අනාගතයක් පිළිබඳ සිහිනය සැබෑවක් බවට පත්කිරීම වෙනුවෙන් දරන උත්සාහයන්වලදී මතුවිය හැකි බාධක මගහැර ඒවා පිටුදකින අතරවාරයේ, සිය ව්‍යාපාරයේ වටිනාකම් පෙන්නුම් කරමින් වසර ගණනාවක් ඩයලොග් සන්නාමය ශ්‍රී ලාංකිකයන්ගේ සිත් සතන් තුළ ඇති කළ හෘදයාංගම හැඟීම විදහා දක්වමින් ‘වඩාත්ම ආදරය කරන විදුලි සංදේශ සන්නාමය’ බවට ඩයලොග් සමාගම පත්විය. එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (United Nations Global Compact) දේශීය නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ගෝලීය සංයුක්ත ජාලයේත්, (Global Compact Network of Ceylon) ශ්‍රී ලංකාවේ සුන්දර ජෛව විවිධත්වය සුරැකීමට කැපවූ ව්‍යාපාරයන්ගේ ජාලය වන Biodiversity Sri Lanka හි ඩයලොග් සමාගම ඉටුකරන කාර්යභාරයන් සමඟ මෙම උත්සාහයන් සබැඳේ.

ඩය‍ලොග් සමාගම සිය පාරිසරික කළමනාකරණ පද්ධතිය පිළිබඳව ස්වාධීනව තහවුරු කළ ඇගයුම සාර්ථකව අවසන් කළ අතර, DNV GL ආයතනය විසින් ඒ සඳහා වන තත්ව සහතිකය අනුමත කර, නෙදර්ලන්තයේ RvA ආයතනය මගින් එය පිළිගන්නා ලදී. ආයතනයේ නිරන්තර අනුකූලබව තහවුරු කිරීම සඳහා වරින් වර සිදුකළ විගණනයන් ඔස්සේ වසර තුනක කාලයක් සඳහා වලංගු වන තත්ව සහතිකය ඩයලොග් සමාගම විසින් හිමිකරගනු ලැබුවේ 2021 ජූනි මස 07 වැනිදාය.ඩයලොග් සමාගම තිරසාරත්වය හා බැඳුනු සිය ගමන තවදුරටත් ඉදිරියට යෑමේදී ශක්තිමත් පාරිසරික පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මෙම තත්ව සහතිකය විසින් පෙන්නුම් කරනු ලබයි. අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලීන්ගේ සිට පාරිසරික අරමුණු සැකසුම දක්වා පවතින ප්‍රතිපත්ති නවීකරණය කිරීම, සේවා සැපයීමේ යාන්ත්‍රණය පුරා පරිසර හිතකාමී විකල්ප ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, එහි පාරිසරික බලපෑම පිළිබඳව සුවිශාල මට්ටමකින් දැනුවත්භාවයක් ඇතිකිරීම හා තිරසර බව මූලික කරගත් ආයතන සංස්කෘතියක් කරා අනුවර්තනයවීම ඊට ඇතුළත් වේ.

ඩයලොග් ආයතනය ලද මෙම සුවිශේෂී සහතික කිරීම සනාථ කළ DNV GL පුද්ගලික ආයතනයේ දේශීය නියෝජිත රෝහිත වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේය.“පරිසරය සුරැකීම වෙනුවෙන් නිශ්චිත කාල රාමුවක් තුළ සිදුකළ දායකත්වය සැලකිල්ලට ගනිමින්, තිරසර කාර්ය සාධනය හා පරිසර දූෂණය පිටුදැකීම යන කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ISO 14001:2015 තත්ව සහතිකය හිමිකරගැනීමට ඩයලොග් ආසිආටා සමාගම ගත් උත්සාහයන් සඳහා පහසුකම් සැලසීමට හැකිවීම අපට ඉමහත් සතුටක්. පාරිසරික කළමනාකරණයට සහ තිරසරබවට ප්‍රමුඛත්වයක් හිමිව තිබෙන යුගයක ඩයලොග් ආසිආටා සමාගම ලද මෙම සහතික කිරීම සමාගමටත් ඔවුන්ගේ ගනුදෙනුකාර භවතුන්ටත් සුවිශේෂී ප්‍රතිලාභ ගෙන දෙනු ඇත.”

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා “ඩයලොග් හි තිරසාර ගමනේ කොටසක් ලෙස අප සමාගමට හා සියලු ගනුදෙනුකාර භවතුන්ට වටිනාකමක් එක් කරන අවස්ථාවන් හඳුනාගනිමින් පරිසරයට සිදුවන හානිකර බලපෑම් තේරුම් ගැනීමට හා අවම කිරීමට, ඉවත් කිරීමට පවා හෝ නැවත ආපසු හැරවීමට අප බලාපොරොත්තු වනවා. මෙම ISO 14001:2015 තත්ව සහතිකය ඩයලොග් හි පාරිසරික ක්‍රියාකාරීත්වය ඉදිරියට යෑම ඇගයීම, අධීක්ෂණය හා වාර්තා කිරීම උත්තේජනය කරනු ඇත. එමෙන්ම පරිසරයට සිදුවන අහිතකර බලපෑම් තවදුරටත් අවම කිරීමට කාර්යරාමුවක් සපයන අතර, තිරසාර හා හරිත හෙට දිනක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරමින් නෛතික හා නියාමන බැඳීම් ආරක්ෂා කරනවා.” යනුවෙන් සඳහන් කළේය.