Body

ඩයලොග් අඛණ්ඩව නව වැනි වරටත් ගංගාරාම නවම් මහා පෙරහැරට බැතිබර දායකත්වය ලබාදෙයි

March 09, 2021        Colombo

 

fisherman in Tissamaharama
fisherman in Tissamaharama

2012 වර්ෂයේ සිට අඛණ්ඩව ගංගාරාමය නවම් මහා පෙරහැරේ දායකත්වය දරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, නව වැනි වරටත් තම බැතිබර දායකත්වය දක්වන්නට කටයුතු කරන ලදී. 1979 දී කොළඹ නගරයේ පෙරහැරක අඩු ලුහුඬුතාවයත්, එකල රටේ පැවති තත්ත්වය හමුවේ ජනතාවගේ සිත් සතන් සුපසන් කරමින් සංස්කෘතික වටිනාකමක් මෙරටට දායාද කිරී‍මේ අරමුණිනුත් ඇරඹුණු ගංගාරාමය නවම් මහා පෙරහැර, පෙබරවාරි 26 වන දිනට යෙදුනු නවම් පුන් පොහෝ දිනයේදී පැවැත්විණි.

42 වැනි වරටත් පැවැත්වුණු මෙම කලාශ්‍රීයෙන් පිරි, බුද්ධානුබැතියෙන් සුසැදි පෙරහැර මංගල්‍යය මෙරට ජනතාවට සුවයෙන් පිරි දිවියක් වෙනුවෙන් ආශීර්වාද කරමින්, පෙරහැර ආරම්භයට මූලිකත්වය දැරූ පොඩි හාමුදුරුවන් වහන්සේට සෙත් පතමින් දින 7ක පිරිත් සජ්ඣායනාව අවසානයේ පෙබරවාරි 25 වන දින ඇරඹිණි. මෙවර මහා පෙරහැර පැවැත්වූයේ කොවිඩ්-19 සෞඛ්‍ය උපදෙස් සමග අනුගත වෙමින්, අවම කලා ශිල්පීන් ප්‍රමාණයකින් යුතුව සහ නරඹන්නන්ගෙන් තොරවය. මෙම අසිරිමත් සංස්කෘතික මහෝත්සවය ඩයලොග් ටීවී චැනල් අංක 1 ඔස්සේ සජීවීව නිවසේ සිටම නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවිය.

මීට අමතරව කෘෂිකර්මය, ධීවර, වාරිමාර්ග හා සමාජ සංවර්ධනය සඳහාම වෙන් වූ ගංගාරාම විහාරස්ථානය විසින් පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාවක් වන හරිත නාලිකාව (ඩයලොග් ටීවී චැනල් අංක 16) සඳහා තාක්ෂණික සහාය ලබාදීමද ඩයලොග් ආයතනය විසින් සිදුකරනු ලබයි.

ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් තිස්සේ රටේ ප්‍රධාන සංස්කෘතික ආගමික උත්සව සඳහා සිය දායකත්වය සපයයි. ඒ අතර මහනුවර ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය, කැලණිය දුරුතු මහා පෙරහැර, ගැටබරු ඇසළ මහා පෙරහැර සහ කෝට්ටේ රජමහා විහාරස්ථ පෙරහැර මංගල්‍යයන්ද වේ. එසේම බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාම විහාරස්ථ ශ්‍රී බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහාද ඩයලොග් සමාගම දායකත්වය ලබාදෙයි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමටද ඩයලොග් සමාගම දායකත්වය ලබාදී තිබේ.