Body

ඩයලොග් ආසිආටා දිවයින පුරා පිහිටි සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කරයි

සෑම දරුවෙකුගේම අධ්‍යාපන ප්‍රවේශයට සවියක්වීමේ සිය දැක්ම පෙරටම ගෙන යයි

සැප්තැම්බර් 30, 2021         කොළඹදී

 

Mr. Supun Weerasinghe, Group Chief Executive, Dialog Axiata PLC exchanging the MOU with Hon. Piyal Nishantha and Mrs. K.M.S.D. Jayasekara

ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය, ගරු පියල් නිශාන්ත මහතා අතර අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු වූ අවස්ථාව. කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී ජයසේකර මහත්මියද ඡායාරූපයේ වේ.

2021 වසරේ ලෝක ළමා දිනය නිමිත්තෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපාන සේවා අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379 වෙතම නොමිලේ අන්තර්ජාල සබඳතා සැපයීමට කටයුතු යොදන ලදී.

ඩයලොග් සමාගම එහි ආරම්භයේ පටන්ම, දරුවන් හට ගුණාත්මක අධ්‍යාපනයක් පිරිනැමීම උදෙසා සිය තාක්ෂණයන් සහ හැකියාවන් යෙදවීමට කටයුතු කර ඇත. මේ අතරට ඩයලොග් ආයතනය විසින් ප්‍රජා ආයෝජන රැසක් සිදුකර තිබේ. ඒ අතුරින් නැණස ඩිජිටල් අධ්‍යාපන මාධ්‍යය හරහා පාසල් 2000 කට සන්නිවේදන පහසුකම් ලබාදීම, ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ මෙරට නිවාස මිලියන 1.6කට නැණස අධ්‍යාපනික නාලිකා තුළින් සම්බන්ධවීමේ හැකියාව සැලසීමත්, නැණස ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම සහ සියලු පාසල් ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ 'නැණස ස්මාර්ට් ස්කූල්' වැඩසටහන සහ ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන අයත් වේ.

වසර දෙකක කාලයක් සඳහා වන මෙම වැඩසටහනේදී, දිවයින පුරා පිහිටි සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් 10,632 කට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ- තක්සලාව අධ්‍යාපනික වෙබ් අඩවිය හරහා උසස් මට්ටමේ අධ්‍යාපනයක් වෙත ප්‍රවේශවීමේ අවස්ථාව වෙනුවෙන් පහසුකම් සැපයේ.

කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතා, මෙම වැඩසහටන සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් “අනුග්‍රාහකයන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් අප ක්‍රියාත්මක කරන, මෙම දරුවන් වෙනුවෙන් පරිගණක 700ක් පිරිනැමීමේ ‘සිසු නැණ ප්‍රදීප’ වැඩසටහනට උපකාර වෙමින්, ශ්‍රී ලංකාවේ සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙනුවෙන් නොමිලේ අන්තර්ජාල සබඳතා සැපයීමට ඉදිරිපත්වීම ගැන ඩයලොග් සමාගමට අපි කෘතඥ වෙනවා. සෑම දරුවෙක්ටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සැබෑවක් බවට පත්කරගැනීම වෙනුවෙන් උපකාර කිරීම, සැමට යහපත් අනාගතයක් උදාකරදීම වෙනුවෙන් වැදගත්ම දෙයයි. මෙවැනි දරුවන්ට ඉහළ ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් සැපයීම මගින් සාර්ථකත්වය වෙත පියනැගිය හැකි පරිසරයක් සැකසීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බව මගේ විශ්වාසයයි. ඒ උදෙසා මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඩයලොග් සමාගමට ස්තුතිවන්ත වෙනවා.” යි පැවසීය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් “සෑම දරුවෙකුටම යහපත් අනාගතයක් උදාකරමින් සියල්ලන්ටම සම අධ්‍යාපන ප්‍රවේශයන් ලබාදීම පිණිස වන අපගේ මෙහෙවර පෙරට රැගෙන යෑමට අවස්ථාව සැලසීම වෙනුවෙන් කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යංශ්‍යට අප අපේ ස්තුතිය පිරිනමනවා.” යැයි පවසා සිටියේය.