Body

කළුතර දිස්ත‍්‍රික්කයේ රෝහල්වල හදිසි ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලන්නට ඩයලොග් ආසිආටා ඉදිරිපත්වෙයි

August 29, 2021         Colombo

 

news-1

වෛද්‍ය ප‍්‍රසාද් ලියනගේ - ප‍්‍රාදේශීය වසංගතවේදී, වෛද්‍ය සුමල් නන්දසේන - ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය ගිහාන් ප‍්‍රනාන්දු - සම්බන්ධීකාරක, වෛද්‍ය උදය අයි. රත්නායක - ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ප‍්‍රසන්න ජානක මහතා - දිස්ත‍්‍රික් ලේකම්, මංගල අතපත්තු - ජ්‍යෙෂ්ඨ ප‍්‍රාදේශීය කළමනාකාර DAP

news-1

වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ ජාතික ක‍්‍රියාන්විතයට සහයෝගය දැක්වීමේ තවත් පියවරක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය මඟින් තෝරාගත් කළුතර දිස්ත‍්‍රික්කයේ රෝහල්වල හදිසි අවශ්‍යතාවන් සඳහා ලීටර් 47ක ධාරිතාවයකින් යුත් ඔක්සිජන් සිලින්ඩර 50 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම මූලාරම්භය මඟින් මූලික රෝහල - පානදුර, මූලික රෝහල - හොරණ, මූලික රෝහල - පිඹුර, දිස්ත‍්‍රික් රෝහල - බන්ඩාරගම, දිස්ත‍්‍රික් රෝහල - මතුගම, ප‍්‍රාදේශීය රෝහල - ඉංගිරිය සහ ප‍්‍රාදේශීය රෝහල - හල්තොට වශයෙන් රෝහල් 7ක අසාධ්‍ය කෝවිඞ්-19 රෝගීන්ගේ හදිසි ඔක්සිජන් අවශ්‍යතාවන් සපුරාලනු ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබූ රෝහල් 18ක හදිසි සත්කාර සේවා මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ නවතම ව්‍යාපෘතිය ඇතුළුව වසංගත තත්ත්වය අතරතුර ජාතික සෞඛ්‍ය සේවා ප‍්‍රයත්නයන් සවිබල ගැන්වීම උදෙසා ඩයලොග් සමාගම විසින් සිදුකරන ලද අදාළ ව්‍යාපෘති ගණනාවකින් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකෙරිණි.

කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය උදය අයි. රත්නායක මහතා අදහස් දක්වමින් “මේ වන විට කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ඇති රෝහල්වල කෝවිඞ් ආසාදිත රෝගීන් 1100කට අධික පිරිසක් කළමනාකරණය කරනවා. මේ අතරින් සමහර රෝහල් අඩු වරප‍්‍රසාද සහිත ජනතාවට හා පහසුකම් නොමැති පිරිස් හට ප‍්‍රවේශ විය හැකි එකම සෞඛ්‍ය සේවාව වන අතර ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. ඔක්සිජන් ලබාදීම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ තීරණාත්මක සාධකයක් වී ඇති අතර මෙම අභියෝගාත්මක කාලය තුළ හදිසි අවශ්‍යතා සඳහා ඔක්සිජන් සිලින්ඩර පරිත්‍යාග කිරීම පිළිබඳ ඩයලොග් සමාගමට අප ස්තූතිවන්ත වෙනවා. අවශ්‍යතා දැඩිව පවතින රෝහල් වෙත මෙම ඔක්සිජන් සිලින්ඩර බෙදාහැරීමට ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිසි පියවර ගෙන තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.