Body

ඩයලොග් ආසිආටා සහ වේව්නෙට් සමාගම එක්ව කොවිඩ්-19 රෝගීන්ට කාර්යයක්ෂමව ප්‍රතිකාර කිරීම සඳහා රෝගී ඇඳන් කළමනාකරණය කිරීමේ ජාතික පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරයි

August 04, 2021         Colombo

 

news-1

ඡායාරූපයේ වමේ සිට දකුණට: වෛද්‍ය ලාල් පනාපිටිය- නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - වෛද්‍ය සේවා, වෛද්‍ය සුනිල් ද අල්විස් - අතිරේක ලේකම් (වෛද්‍ය සේවා), වෛද්‍ය අසේල ගුණවර්ධන - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි, සෞඛ්‍ය ඇමතිනී, වෛද්‍ය අන්වර් හම්ඩානි - අධ්‍යක්ෂ - වෛද්‍ය තාක්ෂණික සේවා / කොවිඩ්-19 වෙනුවෙන් - අමාත්‍යාංශ සම්බන්ධීකාරක, ගරු මහාචාර්ය චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, සුපුන් වීරසිංහ මහතා - සමූහ ප්‍රධාන විධායක, ඩයලොග් ආසිආටා පීඑල්සී, සුරේන් පින්ටෝ මහතා - ප්‍රධාන විධායක නිලධාරී -වේව්නෙට් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, රෙසා අනීෆ් මහතා - ඩිජිටල් සේවා ප්‍රධානී - ඩයලොග් ආසිආටා පීඑල්සී, දිලුම් කුමාරසිංහ මහතා - උප සභාපති - වේව්නෙට් ඉන්ටනැෂනල් ආයතනය.

රටේ පවතින වසංගත තත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සිය සහයෝගයේ තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ එහි තාක්ෂණික හවුල්කරු වන වේව්නෙට් පුද්ගලික සමාගම එක්ව, කොවිඩ්-19 රෝගීන් කළමණාකරණය වෙනුවෙන් රෝගී ඇඳන් කළමනාකරණ විසඳුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදී. මේ මගින් රෝගීන්ව කාර්යක්ෂමව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ව ඉතාම කෙටි කාලසීමාවක් තුළ රෝහල්වලට ඇතුළත් කරගැනීමට හැකිවනු ඇත.

මෙම සුවිශේෂී විසඳුම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන රජයේ සහ පෞද්ගලික කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල තථ්‍ය කාලීන හා මධ්‍යගත වූ ඇඳන් කළමනාකරණ පද්ධතියක් ඇති කරනු ලබයි. මේ හරහා ඇඳක් තවත් රෝගියකු හට ලබාදීමේ කාලය සහ ඇඳක් වෙනුවෙන් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කළ හැකි අතර, රෝගීන් වෙනුවෙන් ඇඳන් ඉඩපහසුව තිබේද යන්න පරීක්ෂා කිරීමට කාලය මිඩංගු කරනු වෙනවෙට එකී ඉතිරිවන කාලය යොදාගනිමින් රෝගීන්ගේ ප්‍රතිකාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ කාර්යයක්ෂමතාව ඉහළ නැංවිය හැක. රෝගී ඇඳන් කළමනාකරණ විසඳුම මගින් අදාළ මධ්‍යස්ථාන වෙත රෝගීන් වෙන් කිරීමේදී සිදුවන තොරතුරු ගණනයේ සිදුවන දෝෂ හා අකාර්යක්ෂමතාව මගහරවා ගත හැක. ප්‍රදේශ‍ය හා ප්‍රතිකාර මධ්‍යස්ථානය අනුව අදාළ නිලධාරීන්ට දැනට පවතින ඇඳන් ගණන විශ්ලේෂණය කළ හැකි අතර, එමඟින් රෝගීන් ඇතුළත් කර ගැනීමට ගතවන කාලය අවම කර ගැනීමටත්, ගිලන්රථ සේවාවන් හරහා රෝගීන් අදාළ මධ්‍යස්ථාන වෙත භාරදීම වේගවත්ව සිදුකළ හැක.

මෙම පද්ධතිය මඟින් ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් වැඩසටහන් හරහා ලැබෙන තොරතුරු ඒකාබද්ධ කරන අතර, වගකිව යුතු ආයතනවලින් ලැබෙන ඉල්ලීම් අනුව මධ්‍යම පාලන මධ්‍යස්ථානයෙන් හෝ විමධ්‍යගත ඒකක මඟින් රෝගීන් හඳුනාගනිමින් ඔවුන්ව නිසි ප්‍රතිකාර සඳහා පහසුවෙන් යොමු කිරීමේ හැකියාව ලබාදෙයි. මෙම විසඳුම හරහා රෝගීන් වෙනුවෙන් ඇඳන් වෙන් කිරීම පිණිස දැනට පවතින ක්‍රියාවලිය ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රියකරණය කිරීම තුලින් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියට සැලකිය යුතු සහායක් ලබාදීම අරමුණු කර ඇති අතර, එමඟින් සෞඛ්‍ය පරිපාලකයින්ට, වෘත්තිකයින්ට සහ ප්‍රතිකාර ලබන්නන්ට ප්‍රතිලාභ හිම්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්ඩානි - අධ්‍යක්ෂ - වෛද්‍ය තාක්ෂණික සේවා / කොවිඩ්-19 වෙනුවෙන් - අමාත්‍යාංශ සම්බන්ධීකාරක “මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කොවිඩ්– 19 රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඇඳන් 32,500 ක් වෙන්ව තිබෙනවා. මේ දක්වා, මධ්‍යස්ථාන 224 ක් හරහා, මිනිස් හැකියාව සහ ශ්‍රමය උපයෝගී කරගනිමින් රෝගීන් ඇතුළත් කරගැනීම, අදාළ ප්‍රතිකාර සඳහා යොමු කිරීම, රෝගීන් අධීක්ෂණය කිරීම සහ ඔවුන්ව රෝහල්වලින් පිටත් කර හැරීම වැනි වැඩි කාලවේලාවක් මිඩංගු කිරීමට සිදුවන කාර්යයන් ඉටුකර තිබෙනවා. තථ්‍ය කාලීන රෝගී ඇඳන් කළමනාකරණය වෙනුවෙන් ජාතික පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මම ඩයලොග් සමාගමටත්, වේව්නෙට් සමාගමටත් ස්තුතිවන්ත වෙනවා. මේ තුළින් අපේ මානුෂීය පරිශ්‍රමයන් වඩාත් කාර්යක්ෂම පද්ධතීන් බවට පත්කිරීමටත් අදාළ ක්‍රමවේද සකස් කිරීම සඳහා උපයෝගී කරගැනීමටත්, වඩාත් සාර්ථකව අපගේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමටත් හැකියාව සලසනවා. ඇඳන් කළමනාකරණ පද්ධතිය කොවිඩ්- 19 සඳහා පමණක් නොවෙයි, දැඩි සත්කාර කළමනාකරණයටත්, විශේෂ සත්කාර සේවාවන් හා සම්බන්ධවත් රටට දායාද වූ සුවිශේෂී සම්පතක් වෙනවා. ඒ වගේම, මේ හරහා, මේ රටේ සෑම පුරවැසියෙකුටම උසස් සේවාවක් ලබාදීම වෙනුවෙන් තත්‍ය කාලීන සහ මධ්‍යගත පද්ධතියක සහාය සෞඛ්‍ය සේවකයින් හට ලබාදෙනවා”යි පැවසීය.

“ඩයලොග් සමාගම හා එක්වෙමින් මෙම වැඩපිළිවෙල සඳහා තාක්ෂණික හවුල්කරු වශයෙන් කටයුතු කිරීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අපගේ කැපවීම හා ලබාදෙන දායකත්වයට කදිම උදාහරණයක් වශයෙන් මෙම අවස්ථාව නම් කළ හැකීයි.” යැයි ග්ලෝබල් වේව්නෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් පින්ටෝ මහතා පැවසීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පළකළේ මෙවැනි අදහසකි.“කොවිඩ් -19 පිටුදැකීම වෙනුවෙන් යුහුසුළුව තම කාර්යභාරයේ නියැලෙන අපගේ සෞඛ්‍ය සේවකයන්ට තවදුරටත් සහායවීමට අපට අවස්ථාව ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කරගැනීමට අපට හැකිවුනේ වේව්නෙට් සමාගම ඒ සඳහා තාක්ෂණික හවුල්කරු වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වීම නිසයි.මෙවැනි අතිශය තීරණාත්මක මොහොතක එම සමාගම අපට අඛණ්ඩව ලබාදුන් නොමඳ සහාය අපි ඉතා අගයකොට සලකනවා.”